රාජගිරිය නාවල ඇල හරහා ඉදිකරන නව පාලමේ ඉදිකිරිම් වල ප්‍රගතිය මේ වන විට 60% යි

ඇතුල්කෝට්ටේ අංගම්පිටිය මාර්ගය සහ නාවල රාජගිරිය මාර්ගයේ පාසැල් පටුමග සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇල හරහා ඉදිකරන නව පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය මේ වන විට 60 % ක් බවත් ඉදිකිරීම් කඩිනම් කර පාලමේ වැඩ අවසන් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ – ඉදිකිරීම් හට 29-01-2022 වන දින පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී  තමන් උපදෙස් ලබා දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේය. 


මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මංතීරු 02 කින් යුතු මෙම නව පාලම ඉදි කරනු ලබයි. මීටර් 600 ක දිගින්  සහ මීටර් 10.4 ක පළලින් යුතු මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1,698.55කි.

පාලම දෙපස මීටර 1.5 බැගින් වූ පදික මංතීරු 2ක් ද ඉදිකරනු ලබයි. එමෙන්ම  මෙම පාලමට ප්‍රවේශ වීමට අංගම්පිටිය දෙසින් මීටර 60 ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගයක්  සහ පාලමෙන් පිටව පාසැල් පටුමගට ප්‍රවේශ වීමට මීටර 40 ක දිගින් යුතු මාර්ගයක් ද ඉදිකරනු ලබයි.  ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම නව පාලම ඉදිකිරීමෙන් පසු පාර්ලිමේන්තු පාර හා කෝට්ටේ දෙසින් පැමිණෙන රථ වාහන සඳහා නාවල දෙසට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන අතර රාජගිරිය මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයටද විසඳුමක් වනු ඇත.