Red Bull වෙතින් Ride My Wave 2022

Red Bull සංවිධානය කරන ‘Ride My Wave 2022’ සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රවීණ සහ ආධුනික යන කාණ්ඩ දෙකටම විවෘත මෙම තරගාවලියේදී දේශීය හා විදේශීය තරගකරුවන් කරට කර තරග වදින උණුසුම් තරග ඉසව් රැසක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම තරගාවලිය, සර්ෆින් ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම මේ ඔස්සේ, ජාත්‍යන්තර වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ තව තවත් ජනප්‍රිය කරවීමට Red Bull බලාපොරොත්තු වෙයි. සංචාරක ආකර්ෂණයට අමතරව මෙරට සර්ෆින් ක්‍රීඩාව මෙරට වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකරන නමුත් එම කාර්යභාරය මෙතෙක් නිසි ඇගයීමකට ලක්වී නොමැත.

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව එය ලොව සර්ෆින් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම පහසු ය. එමෙන්ම එය රටට විදේශ විනිමය වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමටත්, සර්ෆින් ක්‍රීඩාවේ නියුතු පිරිසගේ මෙන්ම රටේ වෙරළබඩ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමටත් හේතු වනු ඇත. සර්ෆින් ක්‍රීඩාවේ නිපුණත්වය හා පළපුරුද්ද අනුව එම ක්‍රීඩාවේ නිරත විය හැකි ආකාරයට, රටේ විවිධ ප්‍රදේශ වල රැලි වර්ග එකිනෙකට වෙනස් වීම, රට තුළ සර්ෆින් ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ උත්සාහය තුළදී අතිශයින් වාසිදායක සාධකයක් බවට පත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී, ලක්ෂිත මධුශාන් හෙවත් ‘ලකී’ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් කෙටි වාර්තාමය වැඩසටහනක් ප්‍රදර්ශනය කරන ලද අතර, ඉන් අනතුරුව අශාන් ඩයස් විසින් සුහද සංවාදයක්ද පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතින් පැමිණි අති දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෙකු වන ලක්ෂිත මධුශාන් මේ වනවිට ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටී. සර්ෆින් ක්‍රීඩාවේ ශූරයෙකු බවට පත්වෙමින් ඔහු Ride My Wave තරගාවලිය ජයගත් ආකාරය මෙම වාර්තා වැඩසටහන මගින් නිර්මාණශීලී ලෙස විස්තර කෙරේ. “ශ්‍රී ලංකාව තුළ සර්ෆින් ක්‍රීඩාව ඉහළ තලයේ ක්‍රීඩාවක් දක්වා වර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. Ride My Wave යනු හුදෙක් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොවෙයි. එය සුවිශේෂී අත්දැකීමක්.”

තරගාවලියට සුභ ප්‍රාර්ථනා කරමින් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යොමු කළ පණිවිඩයක මෙසේ දැක්වේ. “සර්ෆින් යනු කායික මෙන්ම මානසික සහනයක් ලබා දෙන ක්‍රීඩාවකි. එමෙන්ම එය ඔලිම්පික් ක්‍රීඩාවක්ද වේ. අපේ රට දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෝ රාශියක් සිටිති. ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දීමට Red Bull දරන ප්‍රයත්නයට අපගේ පූර්ණ සහයෝගය හිමි වේ. සර්ෆින් යනු රටේ සංචාරක කර්මාන්තයටද මහත් සේවයක් ඉටුකරන ක්‍රීඩාවකි. Red Bull සහයෝගය සමගින්, රටේ තරුණ සර්ෆින් ක්‍රීඩකයන්ට අනාගතයේදී ඔලිම්පික් ශූරයන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇත. Red Bull Ride My Wave යනු හුදෙක් තරගාවලියක් නොව, රටේ සර්ෆින් ක්‍රීඩකයන්ට බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්ද වනු ඇතැයි මම විශ්වාස කරමි.”

Red Bull Ride My Wave තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සන්දික තුෂාර හෙවත් ‘මම්බෝ’ සිය අදහස් පළකළේ මෙසේ ය. “ආරම්භයේ සිටම මා Red Bull Ride My Wave වැඩසටහන සමග සම්බන්ධ වී කටයුතු කර තිබෙනවා. මෙය තරුණ සහ නැගී එන සර්ෆින් ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පැවැත්වෙන මෙම තරගාවලිය සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. සර්ෆින් යනු ජීවන විලාසිතාමය ක්‍රීඩාවක්. එමෙන්ම එය බරපතළ ක්‍රීඩාවක්. රටේ සර්ෆින් ක්‍රීඩා ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීමට හා පුළුල් කිරීමට අප කටයුතු කළ යුතුයි. ”

රට තුළ සර්ෆින් මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්ද සවිබල ගන්වමින්, තරුණ පරපුර අතර ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම Red Bull හි ඉලක්කය වී තිබේ. සර්ෆින් ක්‍රීඩාව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් දියුණු කිරීමට මෙන්ම, එම ක්‍රීඩාවට නිල පිළිගැනීමක් ලබාදීම ඔස්සේ ඒ සම්බන්ධ ජීවන රටාව පිළිබඳ පවතින දුර්මත බිඳ දැමීමටද ‘Ride My Wave’වැඩසටහන මහෝපකාරී වනු ඇතැයි Red Bull අපේක්ෂා කරයි. මෙම වැඩසටහනට මහජනතාවට විවෘත වන අතර, දේශීය ක්‍රීඩකයන් මෙන්ම විදේශීය ක්‍රීඩකයන් රැසක්ද මෙහිදී තරග වදිනු ඇත.