Tuesday, November 10, 2026

ජපානයේ Panasonic සිංගර් සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික අලෙවි ජාලය වන සිංගර් (ශ්‍රී ලංකා) PLC ප්‍රමුඛ පෙළේ ජපන් සන්නාමයක් වන Panasonic, සමඟ සහයෝගීව වායු සමීකරණ, රූපවාහිනී, ශීතකරණ, Audio තාක්ෂණික උපකරණ, විදුලි පංකා, මයික්‍රෝවේව් උඳුන්, සහ වැකුම් ක්ලීනර් ආදී ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ රැසක් දීවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවල අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

Panasonic සමඟ අත්වැල් බැඳ ගැනීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් සිංගර් PLC හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පැවසූවේ “පාරිභෝගිකයින්ට වඩා හොඳ ජීවන රටාවක අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සහ ශ්‍රී ලාංකීය ජන ජීවිතය නගා සිටුවීම සහ සශ්‍රික කිරීමේ ප්‍රමුඛයා වීම යන සිය දැක්ම තහවුරු කිරීමේ අරමුණින් Panasonic සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි Panasonic නිෂ්පාදන පරාස මිලදී ගැනීමට මෙම හවුල්කාරිත්වය මගින් අවස්ථාව ලැබෙනවා” යනුවෙනි.

Panasonic හි ඉන්දියානු සහ දකුණු ආසියානු ප්‍රධාන විධායක නිලධාරී මනීෂ් ෂර්මා මහතා“සිංගර් PLC සමඟ හවුල්කාරිත්වයකට එළඹීම පිළිබඳව අපි සතුටු වෙනවා. Panasonic නිෂ්පාදන මගින් පාරිභෝගිකයින්ට ‘විශිෂ්ට ජිවන රටාවක් අත් කර දීමට අපි නිරතුරුවම උත්සහ කරනවා. මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාව තුළ අපගේ සන්නාමයෙහි පැවැත්ම ශක්තිමත් කිරීමටත් එමගින් භූගෝලීය ප්‍රවේශය පුළුල් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් සිය අදහස් දක්වන ලදි.

සිංගර් PLC වසර 140 කට වැඩි කලක් පටන් දිවයින පුරා අලෙවිසැල් 430 කට අධික සංඛ්‍යාවක් සමඟ දීප ව්‍යාප්ත බෙදාහැරීම්, විශ්වාසනීය වගකීම් සහ අලෙවියෙන් පසු සේවාවන් ද සමඟින් ශ්‍රී ලංකාව පුරා අසමසම පැවැත්මක් තහවුරු කර ඇත. 1955 දක්වා ඈතට දිව යන Panasonic සන්නාමය එවකට audio speakers සඳහා සුප්‍රසිද්ධ සන්නාමයක් විය.. Panasonic තම පාරිභෝගිකයින්ට ‘විශිෂ්ට ජිවන රටාවක් අත් කර දීමට නිරතුරුවම උත්සහ කරන අතර ලොව පුරා සිටින පාරිභෝගික ප්‍රජාවට සැපවත් ජීවන විලාසිතාවන් ලබා දීමට අඛණ්ඩව දායකත්වය ලබා දේ.

මෙම හවුල්කාරිත්වය සමඟින් පාරිභෝගිකයින්ට දැන් වඩාත් පහසුවෙන් සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් Panasonic නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම අලෙවියෙන් පසු සේවා සහය ද ලබා ගත හැකිය.