සුව අරණ – පිලිකා රෝගී දරුවන් වෙනුවෙන් තැනෙන නිවහන ගොඩනැගීම සඳහා ආයෝජකයින් දැනුවත් කිරීමේ සමුළුව පවත්වයි

පිළිකාව ලොකු කුඩා, බාල මහලු, දුප්පත් පොහොසත් භේදයකින් තොරව එකහා ජීවිත වලට පැමිණෙන්නේ නොහිතනා මොහොතක ජීවිත වලට විවිධාකාරයේ අත්දැකීම් ,ගැටලු , වැටීම් නැගිටීම් ඇති කරමින්ය. එවිට ප්‍රශ්න වලින් මිරිකී දුක් විදිනා ආදරණීය අපගේම මිනිසුන් හට අත්වැලක් සැපයීමට පෙලගැසීමට අවැසි කාලවකවානුවක මනුෂ්‍යත්වය තවමත් ජීවතුන් අතර පවතිනවා යන්න පසක් කිරීමට සියලුම මිනිසුන් හට ලැබෙන්නේ ඉතාමත් සීමිත අවස්ථා වලදී පමණය.

එවැනි එක් අවස්ථාවකට දොරගුළු විවර කිරීම 2022 පෙබරවාරි 15 වන දින එනම් ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබෙන අද දින ඉන්දිරා පිළිකා භාරය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතියක් වන සුව අරණ, ශ්‍රී ලංකාවේ පලමු හා එකම පිලිකා රෝගී දරුවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා වෙනුවෙන්ම ඉදිවන නිවහන ගොඩනැගීමට උපකාරී වීමෙන් සරණක් අවැසි අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වීමේ අවස්ථාව උදාකරමින් ආරම්භ විය.

සුව අරණ යනු ඉතාමත් දුර බැහැර සිට පැමිණෙන දුප්පත් අසරණ පවුල් වල පිළිකා රෝගය සදහා අවසාන ප්‍රතිකාර ලබා ගන්නා දරැවන් හෝ තව දුරටත් ප්‍රතිකාර ලබා දීමට නොහැකි වන දරුවන් හා ඔවුන්ගේ පවුලේ අය සදහා නැවතී සිටීමට දරුවන් සමග කාලය ගත කිරීමට මුදල් වියදම් කිරීමට නොහැකි මොහොතක ඔවුන් වෙනුවෙන්ම සහ ඔවුන්ගේ මානසික සුවය වෙනුවෙන් ගොඩනැගෙන ආදරණීය නිවහනයි. දිනපතා හෝ සතිපතා දරුවා රැගෙන අපේක්ෂා රෝහලට ඒමට හෝ පැමිණ රැදී සිටීමට එපමණක් නොව ආහාර වේලක්වත් ගැනීමට පවා අතේ මුදලක් නැති අසරණ මිනිසුන් මෙලොව තවමත් සිටිනවා යන්න මතක් කල යුතුම දෙයකි. ඉතින් එවැනි මිනිසුන් හට අසරණ නොවී තමන් තනි වී නැත යන හැගීමත් සමගම රැදෙන්න හැදෙන නිවහන සුව අරණයි. මෙය ගොඩනැගෙන්නේ ඉන්දිරා පිළිකා භාරය සදහා නොව මුලු මහත් ශ්‍රී ලංකාවාසී පිළිකා රෝගී දරුවන් හා පවුල් වෙනුවෙන්ම පමණක් බව කිව යුතුමය.

ඉන්දිරා පිළිකා භාරයෙහි අනුශාසක මෙන්ම ඉන්දිරා පිළිකා භාරය ආරම්භයට හේතු පාදක වූ ඉන්දිරා මැතිනියගේ පියාණන් හිටපු කතානායකතුමන් වන ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිලිකා රෝගී දරුවන් වෙනුවෙන් ගොඩනැගෙන නිවහන ඉදිකිරීමට සහයෝගය දැක්වීමට කැමති ආයෝජකයින් සඳහා මෙම සමුළුව පවත්වන ලදි. මෙහිදී මෙම සුව අරණ ගොඩනැගීමට හේතු වූ කරුණු පිළිබඳවත් , මෙය ගොඩනැගීමේ වටිනාකම පිළිබඳවත් කරුණු දැක්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂිකා වෛද්‍ය එශානි ෆර්නෑන්ඩු මහත්මිය සහ අපේක්ෂා රෝහලෙහි ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතරම ඉන්දිරා පිළිකා භාරයෙහි ආරම්භය සහ සිදු කරනු ලබන සේවාවන් පිළිබඳව එහි ස්වෙච්ඡා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරී සොනාලී පෙරේරා මහත්මියත් සුව අරණ ව්යාපෘති සම්බන්ධීකරණ ජෝන් හයිඩ් මහත්මිය විසින් ඉන්දිරා පිළිකා භාරය මෙම යෝධ පියවර තැබීමට හේතු වූ කරැණු පිළිබඳවත් ආයෝජන අවස්ථා පවතින කොටස් පිළිබඳවත් පැමිණ සිටි සියලුම දෙනා හට ඉදිරිපත් කරන ලදි. එමෙන්ම මේ වන විටත් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් සදහා දායකතවය සපයා ඇති ආයෝජකයින් කිහිපදෙනෙකුන් විසින් ඔවුන් මේ සදහා ආයෝජනයන් සිදු කිරීමට හේතුද පැමිණ සිටි සියලු දෙනා හා බෙදා ගැනීමද මෙහිදී සිදු විය.

ඉන්දිරා පිළිකා භාරයෙහි සභාපතිතුමිය මෙන්ම භාරකාර මණ්ඩල සාමාජික වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මැතිනිය විසින් මෙම ව්‍යාපෘතිය තුළින් දොරගුළු හැරනුයේ පිළිකාව හා සටන් වැද ජය ගැනීමට නොහැකි වූ මල් කැකුළු වන් දරුවන් හට තම අවසන් ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ තම ආදරණීය දෙමාපියන් සහෝදර සහෝදරියන් සමඟ සුවපහසුවෙන් කාලය ගත කිරීමට ඉඩකඩ ලබා දෙනු පිණිසය. මෙහි විශේෂත්වය වනුයේ අවශ්‍ය සියලුම පහසුකම් නොමිලේ ලබා දෙනු ලබන අතර ගෙදරින් ඈත් ව සිටිය ද තම නිවසේ සිටිනවා යන හැඟීම මෙහිදීද විඳිමින් කාලය ගත කිරීමට පිලිකා රෝගී දරුවන් හා ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථාව ලැබීමය. ඔබ තනිවී නැත ඔබගේ සවියට අප සිටිනවා සෑම මොහොතකම යන්න ඉන්දිරා පිළිකා භාරය විසින් පසක් කර ඇති අතර මනුසත්කමක් ලබන්න තරම් වාසනාවන්ත වූ මිනිසුන් හට මෙන්ම හදවත් උනු වන කාරුණික මිනිසුන් හට මේ සදහා දායකවීමේ අවස්ථාව උදා කරමින් වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් නිමා කරන ලදි.