නිර්නාමිකව වුවද පැමිණිලි ඉදිරිපත් කළ හැකි අලුත් මගක් කම්කරු දෙපාර්තමේන්තුවෙන්

වැඩ කරන ජනතාවට ඇති ඕනෑම කම්කරු ගැටලුවක් පිළිබඳ පැමිණිල්ලක් ඔන් ලයින් මගින් කම්කරු දෙපාර්තමේනතුවට කඩිනමින් ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දීමේ අරමුණ ඇතිව ස්ථාපිත කරන ලද පැමිණිලි කළමනාකරණ පද්ධතිය ජනගත කිරීම කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් ඊයේ (15) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතිය මගින් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන ඕනෑම අයෙකුට සිය පැමිණිල්ල නිර්නාමිකව වුවද ඉදිරිපත් කිරීමේ පහසුකම සලසා දී ඇති බව මේ පිළිඳව අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතිය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් සෑම පැමිණිලිකරුවෙකුටම අංකයක් ලැබෙන බව ද, එම අංකය මගින් තමන් විසින් කරන ලද පැමිණිල්ලෙහි ප්‍රගතිය සොයා බැලීමේ පහසුව සලසා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ නව ක්‍රමය නිසා මෙතෙක් කලක් පැමිණිලි ඉදිරිපත් කිරීමට යාමේදී වැඩ කරන ජනතාවට විඳින්නට සිදුවූ විවිධ දුෂ්කරතා සහ රස්තියාදුව අවසන් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් තමන් කැමති භාෂාවකින් සිය පැමිණලි කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද උත්සවය අමතා කතා කළ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ සිම්රින් සිංග් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.