ලාංකේය තරුණ ව්‍යවසායකත්වය බලගැන්වූ දෙරණ Startup 2021 වැඩසටහන සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසායක රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන Derana Startup 2021 පසුගියදා උත්කර්ෂවත් අයුරින් අවසන් විය. මෙම සුවිශේෂී වැඩසටහන TV දෙරණ, ජෝර්දානයේ ලාභ නොලබන සංවිධානයක් වන Partners for Good (PFG), USAID හි තරුණ කුසලතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සහ ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශයේ කුඩා ව්‍යවසාය සංවර්ධන ඒකකයේ හවුල්කාරිත්වයෙන් දියත් කරනු ලැබූ අතර, උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), Hardtalk Private Limited යන ආයතන සහ වෙළෙඳ අනුග්‍රාහකත්වයෙන් ඩයලොග් එන්ටර්ප්‍රයිසස් මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගත්තේය.


ආරම්භයේදී මෙම තරගය සඳහා 5000කට අධික අයදුම්කරුවන් ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර, ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, විශ්ෂඥයින් සහ ශාස්ත්‍රඥයින් විසින් විධිමත්ව සිදුකරනු ලැබූ තේරීමකින් පසුව, වඩාත් සාර්ථක ව්‍යවසායකත්ව අදහස් සහිත තරුණ ව්‍යවසායකයින් 30 දෙනෙකු පමණක් තෝරා ගනු ලැබීය. මෙහිදී රටේ ප්‍රකට ව්‍යවසායකයින්ගේ උපදෙස් ඔස්සේ මෙම තරගකරුවන් හට සිය නවෝත්පාදනය වානිජමය වශයෙන් සාර්ථක කර ගැනීමේ අවස්ථාව හිමි විය. මෙයට අමතරව එම විද්වතුන් වෙතින් ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරික බුද්ධිය, දැනුම, පළපුරුද්ද සහ කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමි විය. මෙයට අමතරව සිය ව්‍යවසායකත්ව දිවියේ සමාරම්භය සඳහා ආයෝජනයක් ලෙස භාවිත කළ හැකි රුපියල් මිලියන 6ක විශාල මූල්‍ය ත්‍යාග ඇතුලු ත්‍යාග රැසක් ද ඔවුන් විසින් දිනා ගත්තේ ය.


උපදේශන අදියරෙන් පසුව Derana Startup 2021 හි තරගකරුවන් 30 දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මීළඟ තරග වටය ප්‍රේක්ෂක ජනතාවගේ SMS මානප ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක විය. එහිදී සෑම සතියකම ව්‍යවසායකයින් තිදෙනෙකු සිය නවෝත්පාදන සැළසුම ඉදිරිපත් කලේය. එහිදී වැඩිම ජනතා මනාපය හිමිකරගත් තරගකරුවා පමණක් ඉදිරි තරග වටය සඳහා තේරී පත්විය. එලෙස තෝරාගත් තරගකරුවන් 10 දෙනා අතුරින් අද්විතීය අදහස් සහිත ජනතා ප්‍රසාදය ඉහළින්ම දිනාගත් තරගකරුවන්‍ 06දෙනාගේ සහභාගීත්වයෙන් අවසන් මහා තරගය පැවැත්වීය.


මෙම අවසන් මහා තරගය දේශීය ප්‍රකට මෙන්ම කීර්තිමත් ව්‍යවසායකයෙකු මෙන්ම අධ්‍යාපනඥයකු වන රයිගම් සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, සාරකෙත, සහ සරයි විලේජ් හි ප්‍රධාන විධායක නිලධාරීනී චරිතා අබේරත්න, මෙන්ම ප්‍රසිද්ධ අභිප්‍රේරණ කථික, නායකත්ව පුහුණු‍ සහ ව්‍යවසායක මොහාන් පල්ලිය ගුරුගේ යන මහත්ම මහත්මීන්ගෙන් යුතු විනිසුරු මඬුල්ලේ සහභාගිත්වයෙන් සිදුවිය.


Derana Startup 2021 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ තරගකරුවන් දස දෙනා හට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ව්‍යවසායක සංවර්ධන වැඩසටහනේ කණ්ඩායම් සාමාජිකත්වයක් සමඟින් ව්‍යවසායක අලෙවිකරණය සහතිකපත්‍ර පාඨමාලාව සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් ද පිරිනමන ලදී. එහිදී වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෑස් සහ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස නිර්මාණය කරනු ලැබූ කාර්යක්ෂම දර ලිප නිෂ්පාදනය වෙනුවෙන් මේනක කීර්ති මහතා තෙවන ස්ථානය දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් මේනක හට වැඩසටහන් ව්‍යාපෘතිය වෙතින් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් මෙන්ම ඩයලොග් එන්ටර්ප්‍රයිසස් වෙතින් මාස 12ක කාලයක් සඳහා අසීමිත ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවයක් පිරිනැමීය.


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා වැඩිදියුණු කරනු ලැබූ තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කරනු ලැබූ වෙදනලාව වෙනුවෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍ය වෙනුර විජේසේකර මහතා Derana Startup 2021 හි අනුශූරතාව දිනා ගත්තේය. මෙහිදී වෙනුර වෙත වැඩසටහන් ව්‍යාපෘතිය වෙතින් රුපියල් මිලියන 2ක මුදල් ත්‍යාගයක් සහ ඩයලොග් එන්ටර්ප්‍රයිසස් වෙතින් මාස 12ක අසීමිත ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් පිරිනැමීය.


සිසුන්ගේ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂය අධ්‍යාපනය බලගන්වන Ed-Tech වෙත යොමු වීමේ ආරම්භයක් ලෙස නිෂ්පාදනය කළ අන්තර් ක්‍රියාකාරී ‘Gavesha’ නම් යෙදවුම නිර්මාණය කිරීම වෙනුවෙන් උෂාන් චමින්ද Derana Startup 2021 හි ජයග්‍රහණය හිමිකරගත්තේ ය. ‘Gavesha’ යනු ලංකාව පුරා මෙන්ම ලොව පුරා සිටින දරුවන් හට තාක්‍ෂණික අධ්‍යාපනයට ප්‍රවේශවීමේදී ඇතිවන බාධාවන් අවම කරමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලැබූ යෙදවුමකි. මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උෂාන් හට වැඩසටහන් ව්‍යාපෘතිය වෙතින් රුපියල් මිලියන 3ක මුදල් ත්‍යාගයක් සහ ඩයලොග් එන්ටර්ප්‍රයිසස් වෙතින් මාස 12ක අසීමිත ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් පිරිනැමුණු අතර, මෙම පහසුකම් ඔහුගේ මෙම නවෝත්පාදනය සාර්ථක ආකාරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා මනා පිටුබලයක් සපයනු නිසැකය.

අවසන් සම්මාන රාත්‍රියේදී ජයග්‍රාහකයා වන උෂාන් චමින්ද ප්‍රේක්ෂකයින් අමතා ප්‍රකාශ කර සිටියේ, “දෙරණ Startup 2021 වැඩසටහනේ ජයග්‍රාහකයා වීම ගැන මට තියෙන්න අදහාගන්නත් බැරි සතුටක්. මම අද ඉන්න තැනට එන්න මාස ගණනාවක් වෙහෙස මහන්සිවෙලා වැඩ කලා. විශේෂයෙන් මේ ජයග්‍රහණය මගේ කණ්ඩායමට ඇදහිය නොහැකි තරම් දිරිගැන්වීමක්. මේ ජයග්‍රහණය මම දකින රොකට් එකක් ගුවන්ගත කරන ශ්‍රී ලංකාවක් දැකීමේ සිහිනය වෙත එක් පියවරකින් සමීප කරවීමක් වෙනවා. මෙහිදී ”ලෝකයට ඔබට දීමට ඇති ඔබේ පණිවිඩය කුමක්ද ඇසූ විට ඔහු පැවසූයේ, “අපි සෑම කෙනෙකුටම ලෝකය වෙනස් කිරීමට දක්ෂතාවයක් ඇත, එහිදී අපට අවශ්‍ය වන්නේ අප ගැන විශ්වාස කිරීම පමණයි.!” යනුවෙනි.