සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ “ගොවි මිතුරු” යෙදවුම හඳුන්වා දෙයි 

දේශීය සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් ‘ගොවි මිතුරු’ නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී ඇත. 

කෘෂිකර්මාන්තයේ නිරත සියලුම දෙනා සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි ඔවුන් වගා බිම් සැකසුම, වගාකරනු ලබන බෝගය සහ බෝගයේ වර්ධන අවධියට අනුව නිවැරදි සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සිදුවේ. ඉතා පුළුල් වූ පරාසයක සේවාවක් සමගින් ක්‍රියාත්මක මෙම සුවිශේෂී ගොවි මිතුරු යෙදවුම Google Play Store ඔස්සේ ජංගම දුරකථනය වෙත බාගත කර ගැනීමෙන් මෙම සේවාව සමඟ සම්බන්ධ විය හැකි අතර, 616 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීමෙන් ඇමතුම් සේවාව සමඟ ද සම්බන්ධ වීමේ හැකියාව ලබා දී ඇත. ඩයලොග් සම්බන්ධතාවය ඔස්සේ මෙම ජංගම යෙදවුම් සේවාව සමඟ සම්බන්ධවන්නන් සඳහා කිසිදු ආකාරයක ඩේටා වැයවීමක් සිදු නොවන අතර, ඕනෑම සේවා ජාලයක් සඳහා දෛනික ගාස්තු වශයෙන් රු.2 ක් සහ බදු මුදලක් මෙන්ම 616 අමතා ලබාගන්නා ඇමතුම් සේවාව සඳහා එක් බෝගයක් සඳහා දිනකට රුපියලයක් සහ බදු අයකෙරේ.  

දේශීය වගාකරුවන් වෙත මෙම සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම ගොවි මිතුරු සේවාව, වර්තමානය වන විට තේ වගා කරනු ලබන ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය වෙනුවෙන් ද දියත්කර ඇත. මේ යටතේ තේ කර්මාන්තය සම්බන්ධ විශේෂ තොරතුරු සහ තේ වගාව සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ගොවීන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ සහ ඇමතුම් ඔස්සේ ලබා දීම ද සිදුකෙරේ. කීර්තිමත් ජාත්‍යන්තර තේ නිෂ්පාදකයකු වන අකුරැස්ස නන්දන තේ කර්මාන්තශාලාව, ඩයලොග් ගොවි මිතුරු සේවාව සමග එක්ව මෙම සුවිශේෂී තාක්ෂණය භාවිත කරමින් ගොවි ජනතාවගේ දිවිය වගේම සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය වර්ධනය කරගනිමින් මෙහි ප්‍රතිලාභ ඉහල අයුරින් අත්කරගත් ආයතනයකට නිදසුනකි. 

2015 වසරේ  දී කෘෂිකර්ම දේපාර්තමේන්තුව සමඟ එක්ව කෘෂි උපදේශන සේවාවක් ලෙස ආරම්භ කරනු ලැබූ ගොවි මිතුරු ඇමතුම් සේවාව, ඩයලොග් ආසිආටා සමාගමේ මැදිහත් කාර්යයෙන් සිදුකරනු ලැබූ සාර්ථක මෙන්ම තිරසාර සමාරම්භක ව්‍යාපෘතීන්ගෙන් එකකි. වර්තමානය වන විට තේ වගාව ඇතුලු වගාවන් 32කට අධික ප්‍රමාණයක් ආවරණය කරමින් ඒ හා සම්බන්ධ ගොවීන් 10,000,000කට අධික ප්‍රමාණයකට සාර්ථකව සිය වගාවන් කරගෙන යාම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීම මෙමඟින් සිදුවේ.