සණස මූලිකව ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ජාතික වැඩසටහක් ආරම්භ කොට තිබේ. වැය අඩු කරමු – අය වැඩි කරමු යන තේමාව යටතේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ සමාරම්භක වැඩසටහන කුරුණෑගල, ඉබ්බාගමුව මහා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදි පසුගිය 06 සහ 07 යන දෙදින තුල පැවැත්වුණු අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවත් දිස්ත්‍රික්ක 16 ක සණස සමිති සාමාජිකයින් මේ සඳහා සජීවීව සම්බන්ද වී සිටියහ.

කුරුනෑගල දිස්ත්‍රික්කයේ සණස සමිති 100 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 700 කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. සණස සමූහයේ ආයතන සියල්ලේම සහයෝගය ඇතිව ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ පුළුල් සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී මූලික වශයෙන් සාකච්චා වූ අතර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම , සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම , සණස කැම්පස් සමාගම , සණස ඉන්ටනැෂනල් සමාගම සහ සණස මහා සංගමය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේහිලා මූලිකව කටයුතු කරයි.

මෙහිදී අදහස් දක්වමින් සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා ” “රට මේ මොහොතේ පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම් රජයෙන් සහන සැලසීම වන තෙක් බලාසිටීම ප්‍රයෝජනයක් නැහැ. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම තෙක් සියල්ලෝම මේ සඳහා එක්ව කටයුතු කල යුතුයි. වැය අඩු කරමු – අය වැඩි කරමු වැඩසටහන ක්‍රියාතමක කිරීමට නියමිත වන්නේ මේ සඳහා වන මතවාදය ප්‍රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පුද්ගලිකව කල හැකි දේ සහ කණ්ඩායමක් ලෙස එක්ව කල හැකි දේ බොහෝමයක් තිබෙනවා. මේ දේවල් ගැන නිසි අවබෝදයක් ලබාගැනීම සහ ඊට අදාල පරිදි ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. ලෝ පුරා සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සංකල්පය වන්නේම එක්ව ක්‍රියාත්මකවීමයි. රටක් හැටියට ජයගන්න නම් එක්ව නැගීසිටීම හැර විකල්පයක් නැහැ”” යනුවෙන් පැවසීය.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය මහත්මිය ,වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සිසිර කුමාර මහතා, ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති G.L.M තිලක් බණ්ඩාර ගනේගොඩ, පොලිස් අධිකාරි චන්ද්‍රසේන බන්ඩාර මහතා, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහ එක්ව සිටියහ.