සණස ලයිෆ් ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වේගවත්ම වර්ධන වේගය වාර්තා කරයි

රටේ පවතින අයහපත් සාමාජීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට ප්‍රත්‍යක්ෂ කරයි. ශ්‍රී ලංකා රක්ෂන සංගමය මගින් 2022 වර්ෂය සඳහා ජීවිත රක්ෂණ සමාගම්හි කාර්යසාදන වාර්තාව පසුගිය දිනක ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී සියළු ජීවිත රක්ෂණ සමාගම් අභිබවමින් 81.5% වර්ධන වේගයක් ලබාගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වන ස්ථානය ලබා ඇත. 

පසුගිය වර්ෂයේදී 11 වන ස්ථානයේ සිටි සණස ලයිෆ් වසරක් තුලදී සමාගම් ගණනාවක් අහිබවමින් 09 වන ස්ථානයට පත්ව තිබීම සුවිශේෂී වේ. 2022 වර්ෂයේ පළමු මාස 06 තුලදී සණස ලයිෆ් රු. මිලියන 1307 ක දල වාරික ආදායමක් ලබාගත් අතර එය පසුගිය වසරට සාපේක්ෂව 81.5% ක වර්ධන වේගයකි.

2003 වසරේදී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කරගත් අතර ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ශේත්‍රයේ පෙරලිකාර වෙනස්කම් සිදුකරමින් දිනෙන් දින ඉදිරියට පැමිණ තිබේ. ජීවිත රක්ෂණ සමාගමක් ලෙස තම සාමාජීය වගකීම මැනවින් හඳුනාගත් සණස ලයිෆ් පසුගිය කොවිඩ් 19 වසංගත කාලසීමාව තුලදී රක්ෂණ වාරික ගෙවීමට අපොහොසත් වූ ජීවිත රක්ෂණ හිමියන් 20000 ට අධික සංඛ්‍යාවකගේ අක්‍රීය වූ ජීවිත රක්ෂණ ඔප්පු කිසිඳු මුදලක් අය කිරීමකින් තොරව නොමිළයේ සක්‍රීය කරන ලදි. මෙලෙස ග්‍රාමීය බිම් මට්ටමේ ජනතාව අතරට දිනෙන් දින සමීප වූ සණස ලයිෆ් දිවයින පුරා විසිරී පැතිරී සිටින සණස සමිති ජාලය හරහා ද තම සේවාවන් සිය පාරිභෝගිකයින් වෙත ලබාදෙමින් සිටියි.


මේ සම්බන්දව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා "ඉතා කෙටි කාලයක් තුල මෙවැනි ගමනක් පැමිණීමට හැකිවිම ගැන මට ඇත්තේ ආඩම්බරයක්, මේ ජයග්‍රහණය එක්  රැයකින් ලබාගත්තක් නොවෙයි, මේ සඳහා කණ්ඩායමක් ලෙස වෙහෙසවුනු හැම කෙනෙක්ම මේ මොහොතේ මා ඉතා ආදරයෙන් මතක් කරනවා. සණස ලයිෆ් බිහිවෙන්නේම ජනතාවට සහනයක් වීමේ අරමුණින්, ජනතාව අතරින්, සණස ලයිෆ් අයිති ග්‍රාමීය දිළිඳු ජනතාවටයි. ඉතින් මේ ජයග්‍රහනය අයිති වන්නේ ඔවුන්ටයි. ආරම්භයේ සිටම අප හා සම්බන්ද වූ අපව විශ්වාස කල සියළු දෙනාට මා මේ මොහොතේ මගේ කෘතඥතාවය පලකිරීමට කැමතියි, මේ දක්වා අප ආ ගමනේ අපට ශක්තියක් වූ අයුරින්ම ඉදිරියටත් ඔබ අපව ඉහලට ඔසවා තබන බව මාගේ විශ්වාසයයි. " යනුවෙන් පැවසීය.