සණස ලයිෆ් වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන් වෙයි

දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය අලෙවි බලකාය ඇගයීම වෙනුවෙන් “සණස ලයිෆ් සියපත – 2021” සම්මාන උළෙල සාර්ථකව පවත්වන ලදි.


දිවයින පුරා ශාඛා 80 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් අලෙවි හා අලෙවි නොවන සණස ලයිෆ් සාමාජිකයින් 400 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම උත්සවය පසුගිය දිනක කොළඹ Monarch Imperial හෝටලයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා රක්ෂණ සංගමය මඟින් 2022 වර්ෂය සඳහා ජීවිත රක්ෂණ සමාගම් හි කාර්ය සාධන වාර්තාව පසුගිය දිනක ප්‍රකාශයට පත්කරන ලද අතර එහිදී සියළු ජීවිත රක්ෂණ සමාගම් අභිබවමින් 81.5% වර්ධන වේගයක් ලබාගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වන ස්ථානය ලබා ඇත.


එවැනි සාර්ථක කාර්ය සාධනයක් පෙන්වීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම හැකියාව ලැබුවේ, තම සේවක කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම නිසාවෙන් බව මෙම අවස්ථාවට එක්වෙමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා ප්‍රකාශ කර සිටියේය.


තවද සිය සාමාජීය වගකීම් මැනවින් හඳුනාගත් ආයතනයක් ලෙස සණස ලයිෆ්, පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබාගත් දර්ශන නිපුන් ආරියරත්න සිසුවා මෙම උත්සවය සඳහා විශේෂ අමුත්තෙක් ලෙස කැඳවා තිබූ අතර, ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරිම ද මෙහිදී සිදුවිණි.
සණස නිර්මාත ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති විශ්‍රාමික පොලිස්පති අචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා , සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනකාරීත්වය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.