ශ්‍රීලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම ගුවන් සේවා Food & Beverage සහ Seat Comfort සඳහා වන සම්මානය දිනාගනියි

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards® සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort) සඳහා වූ සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX Passenger Choice Awards® සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්™ ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Choice Awards® හි ජයග්‍රාහකයින්, තෝරාගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.

මෙම සම්මානය හිමිවීම පාරිභෝගිකයින්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන් හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක්කිරීමකි. ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රතිනිර්මාණය කරයි. ගුවන් සමාගම මෑතකදී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා ‘සුව පහසු ආහාර’ වේලක් ලබා දීමට අමතරව, ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.

ප්‍රධාන වශයෙන් කලාපීය කෙටි දුර ගමන් මාර්ග සඳහා සේවා සපයන ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් A320 සහ A321 ගුවන් යානාවල මැදිරි ගුවන් මගීන්ගේ අත්දැකීම් සහ ඔවුන් කැමැත්ත මත සකස් කර තිබේ. ව්‍යාපාරික සහ පිරිමැසුම් පන්තිය යන දෙකම මගීන්ගේ සුවපහසුව සඳහා leather recliner ආසන සහිතව නිර්මාණය කර සවි කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය “යලිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයින් විසින් සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ සෑම සම්මානයක්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාමාජිකයින්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියා පැසිෆික් කලාපයේ සිය සේවාවන් වෙනුවෙන් මේ දක්වා APEX Passenger Choice Awards® සම්මාන 12 ක් දිනා ඇති අතර, 2018 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ නියතව සිටී. ගුවන් සේවය දැනට ආසියා පැසිෆික් කලාපයේ නගර 27ක් වෙත සතිපතා ගුවන් ගමන් 160කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි.