වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Future Life Investments Ltd (FLI), Business World International Organization සංවිධානය කළ BWIO ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමට හිමි සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2016දී ගම්පහ ප්‍රදේශයේ ඇරඹූ Future Life Investments Ltd වසර 6ක් වැනි කෙටි කාලයකින් දිවයිනේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් බවට පත් වී ඇත.


“අප සමාගම දිවයින පුරා ශාකා 36ක් පවත්වා ගෙන යමින් සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කරන අතර ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපට ඉතා වැදගත්. අපට අවශ්‍ය අපගේ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීම. බොහෝ සමාගම්වලට වඩා අප නම්‍යශීලී වන අතර තිරසාරභාවය අපට ඉතා වැදගත්. අප සේවය කරන්නේ දුෂ්කරතා ජය ගැනීමට වීරිය දරන අඩු ආදායම් ලබන පුද්ගලයන්ට. 2023 පෙබරවාරි අවසන් වන විට සමාගම රුපියල් බිලියන 2.5කට අධික ණය කලඹක් සකසා තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන් අප ගැන විශාල විශ්වාසයක් තබා ඇති අතර දුෂ්කරතා ජය ගැනීමට වෙහෙසී වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගන්නා 360කට වැඩි කාර්ය මණ්ඩලයක් අප සතුයි. 63,000කට අධික පිරිසකට අප ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයනවා.” Future Life Investments Ltdහි ප්‍රධාන විධායක නිලධාරී දනුෂ්ක උඩුගම මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇත. සමාගමේ තිරසාර ප්‍රවේශය හේතුවෙන් සමාගමේ අක්‍රිය ණය මට්ටම් ඉතා පහළය. ඊට හේතුව Future Life Investments Ltd පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය සහ සමාජය යන සියලුම අංශ ශක්තිමත් කරන අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහ ගෞරවනීය සබඳතා ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් අනුගමනය කිරීමයි.