සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාව ඇරඹීමට යයි

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ උදාර සංකල්පයක් වන “වැය අඩු කරමු – අය වැඩි කරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන නොවැම්බර් මස 28 වෙනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගරු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු සම්භාවණීය ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතව පවති.


සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් මීට වසර දෙකකට ඉහතදී ආරම්භ කරන ලද මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනහි ඉදිරි තුන් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී දිස්ත්‍රික්ක 25ක් ආවරණය කරමින් සණස නායකයින් 5000ක් වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර මේ තුළින් ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමත් ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000 ක් නිර්මාණය කිරීමත් තුළින්, පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සැලසුම් කරගෙන ඇත.

ඒ අනුව මේ සඳහා දිවයිනේ නන්දෙසින් සණස සමිති නායකයින් රැසක් සහභාගී කරවා ගැනීමට නියමිතව ඇත. ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට රටේ තරුණ ජවය ශක්තිමත් ඉලක්කයක් කොටගනිමින්, ඔවුන් වෙනුවෙන්ම එකම සන්නාමයක් යටතේ රැකියා තෝතැන්නක් නිර්මාණය කර රටට දායාද කිරීමට සණස ව්‍යාපාරය එදා මෙදා තුර මහත් දායකත්වයක් සපයා ඇත. ඒ අනුව සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමන් විසින් සණස මහා සංගමය, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස කැම්පස්, සණස ග්‍රීන් මාර්ට් පුද්ගලික සමාගම, සණස මීඩියා නෙට්වර්ක්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්, සණස උත්තමාවී සමාගම, සණස ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම, සණස ආරක්ෂක සේවා සමාගම වැනි ආයතන රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් එකින් එක සපුරමින් සිටී.

එවන් වූ දැවැන්ත ව්‍යාපාර ජාලයක තවත් එක් දැවැන්ත පරිච්චයක් ලෙස මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට හැඳින්විය හැකියි.