කීර්තිනාමය අනුව ණය ලබාදීමේ වැඩපිළිවෙළක්

ණය ලබාදීමේදී පුද්ගලයන් සඳහා විශේෂිත මිණුම් ඒකකයක් අද (09දා) සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ණය ලබාගන්නා පුද්ගලයින්ට “ලකුණක්“ ප්‍රදානය කෙරෙන අතර එමගින් පහසුවෙන් ණය ලබාගැනීමේ හැකියාව උදාවන බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී මහතා සඳහන් කරයි.

පුද්ගලයින්ගේ කීර්තිනාමයද ණය ලබාගැනීමේ දී සුරැකුමක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.

මෙම “ණය ලකුණ“ පළමු වරට අද (09දා) දිනයේදී හඳුන්වා දෙන අතර, මෙය දියුණු රටවල ණය ශක්‍යතා අධ්‍යයනය හා ණය අවධානම් කළමණාකරණය සඳහා උපයෝගී කරන්නා උසස් මූල්‍ය ක්‍රමවේදයකි.

අංක 250 සිට 900 දක්වා විහිදෙන මෙම ණය ලකුණ කාර්යාංශය සතු ඔබගේ ණය තොරතුරු වෙත යොමුකර ගණනය කර ගනු ලබයි.

මෙම ණය ලකුණ තුළින් ණය ඉල්ලුම් කරන්නන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ණය ලබා ගැනීමටද, ඉඩම් ගොඩනැඟිලි වැනි සාමාන්‍ය සුරැකුම් වෙනුවට තම කීර්ති නාමය සුරැකුමක් ලෙස ඉදිරිපත් කර ණය ලබා ගැනීමට ද “ණය ලකුණ“ ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමෙන් වඩාත් යහපත් ලෙස ණය ලබා ගැනීමට හැකි වෙන බවත් ඒ මහතා සඳහන් කරයි.