ජාතික ඔලිම්පික් කමිටුව “Harassment is No Game” ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි

මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ කාන්තාවන් අරභයා සිදුවන සියලූම ආකාරයේ අතවරයන් වැලැක්වීමට ක‍්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන “Harassment is No Game” ව්‍යාපෘතිය පසුගියදා ක‍්‍රියාත්මක කරන ලදී. ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC Sri Lanka) කාන්තා කමිටුවේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතියෙහි සමාරම්භය එම කමිටුවේ නිල ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමටද කටයුතු කරන ලදී. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන සියලූම ආකාරයේ අතවරයන් වැලැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය හරහා වටිනා පොරොන්දුවක් ලබාදීමට කමිටුව කටයුතු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ මානසික, ශාරීරික, වාචික හා ලිංගික වශයෙන් සිදුවන කුමන ආකාරයේ අතවරයක් වුවද වළක්වාගැනීමට වැදගත් දායකත්වයක් මෙම ව්‍යාපෘතිය හරහා ලබාදීමට එහි සංවිධායකවරු අපේක්ෂා කරති. ආතතිය හා කම්පනය ඇතිකිරීම, පහත් භාෂාව හා හැසිරීම, ශාරීරික හිරිහැර කිරීම, සාමාන්‍ය භාෂාව වැරදි ආකාරයට භාවිතයේ යෙදවීම, වැරදි ලෙස ස්පර්ෂ කිරීම හා වැරදි ආකාරයේ ලිංගික අදහස් දැක්වීම් හා වැරදි ආකාරයට ලිංගික ප‍්‍රකාශන සිදුකිරීම වැනි විවිධාකාරයන්ගෙන් අතවර වීම් සිදුවිය හැක.

’‘රට පුරාම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රීඩිකාවන්ට සිදුවන සෑම ආකාරයකම අතවරයන් වළක්වා ගැනීම අපේ මූලිකම අරමුණයි. ක‍්‍රීඩිකාවන්ට තම හැකියාවන් ලෝකයට පෙන්වන්නට හැකි සුරක්ෂිත ස්ථානයක් බවට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය පත්කරවීමට එයින් විශාල පදනමක් වැටෙනවා. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ මහජනයා ඇතුළුව ක‍්‍රීඩාවට සම්බන්ධ සෑම ආයතනයක්ම දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව අපි සැලසුම් කරන්නේ විශේෂයෙන් පත්කරනු ලබන ඒකකයක් සමග තමන් අත්විඳින වැරදි සහගත ක‍්‍රියාවන් දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක්. මේ හරහා පැමිණිලිවල සත්‍ය අසත්‍යතාවය නිවැරදිව පරීක්ෂාකර බලමින් වඩාත් ඵලදායී හා නිවැරදි ආකාරයට මෙම ගැටළු නිරාකරණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙන් අදහස් දක්වා සිටියේ ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙහි කාන්තා කමිටුවේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන නිලූ ජයතිලක මහත්මිය ය.

අතවර කිරීම් පිළිබඳව ලැබෙන වාර්තා පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා කමිටුව සතුව විශේෂිත කණ්ඩායමක් සිටින අතර, ඔවුන් විසින් පැමිණිලි සඳහා ගතයුතු සුදුසුම ක‍්‍රියාමාර්ග ඉතාමත් ඉක්මනින් අනුගමනය කරනු ඇත. ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ සිදුවන ලිංගික අතවර හා අපචාරයන්ගෙන් ආරක්ෂාකාරී වීමේ ප‍්‍රතිපත්ති රාමුව ක‍්‍රියාත්මක වීමෙන් වර්ෂයක් වැනි කාලයක් ඇතුලත මෙම ව්‍යාපෘතිය විසින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතවරයන්ගෙන් ආරක්ෂා කරගැනීමේ මුල් පියවර තබා ඇති බව පැවසිය හැකිය. “Harassment is No Game” ව්‍යාපෘතිය ක‍්‍රීඩාව තුළ සිදුවන අතවරයන් වළක්වාගැනීම උදෙසා ජනතාව හා ක‍්‍රීඩාවට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීමට රටේ සැම අස්සක් මුල්ලක් වෙතම යමින් සිය වගකීම ඉටුකරනු ඇති අතර, විවිධාකාර හිංසන හා අතවරයන්ගෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආරක්ෂා කරගැනීම සඳහා කමිටුවේ විශේෂ ඒකකය දැනුවත් කිරීම පිළිබඳවද එහිදී ඔවුන්ට අවබෝධයක් ලබා දෙනු ඇත.

Harassment is No Game” ව්‍යාපෘතියෙහි ප‍්‍රචාරණ තානාපතිනිය වශයෙන් කටයුතු කරන ඔලිම්පික් පදක්කම්ලාභී විශිෂ්ට මලල ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දක්වා සිටියාය. ‘‘අතවරය සිදුවන්නේ කෙසේද යන ආකාරය වැදගත් නොවන අතර ඒ හැම ආකාරයකින්ම අතවරයට ලක්වන්නාගේ අභිමානය බිඳවැටී මානසික කඩාවැටීමකට ලක්වීම සහ පුද්ගල සංවර්ධනය වගේම ශාරීරික යහපැවැත්ම බිඳවැටීමත් සිදුවෙනවා. ක‍්‍රීඩාව අප සෑම දෙනාටම තෘප්තියක් ගෙන දෙනවා වගේම අපේ ජීවිත අංගසම්පූර්ණ කරමින් පරිපූර්ණ චරිත සේ නැගී සිටින්නට උපකාර කරනවා. නමුත් ක‍්‍රීඩාව තුළ සිදුවන අතවර කියන්නේ අපි සාමාන්‍යයෙන් සිතනවාට වඩා ඉතාමත් බරපතල තත්ත්වයක්. අන්න ඒ නිසයි අපි තීරණය කරේ ක‍්‍රීඩාවට සම්බන්ධ පිරිස් වෙත සිදුවන අතවර බලපෑම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරමින් ඒවා වළක්වාගැනීමට ඉක්මන් ක‍්‍රියාමාර්ග ගතයුතු ක‍්‍රමවේදයක් නිර්මාණය කරන්නට.’’

ලිංගික අතවර හා අපචාර සිදුවීම්වලින් ආරක්ෂාවීම සඳහා ප‍්‍රතිපත්ති සකස්කිරීම හා දැනුවත්භාවය බෙදාදීමට ජාත්‍යන්තර ක‍්‍රීඩා බලධාරීන් නිරන්තරවම කටයුතු කරති. ඒ අනුව යමින් ශ‍්‍රී ලංකාවද ක‍්‍රීඩාවේ සිදුවන අතවර වළක්වාගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදෙන ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට ජාත්‍යන්තර ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙහි අදාල පියවරයන් ගුරුකොට ගනී. ඒ හරහා ශ‍්‍රී ලංකාවට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබී තිබීම ඉතාමත් වැදගත්ය. ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතාගේ උපදෙස් අනුව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ දැවැන්ත වෙනස්කම් රැුසක් සිදුකිරීමේ කටයුතු මේ වන විට කෙරෙමින් පවතී. එම අරමුණු යථාර්තවත් කරගැනීම ස`දහා ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව යටතේ පවතින සෑම ක‍්‍රීඩා සංගමයක්ම වඩාත් පිරිසිදු ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයක් වෙනුවෙන් අදාල දැනුවත්භාවය ලබාදෙමින් මෙම ව්‍යාපෘතියේ ඉලක්කයන් සම්පූර්ණ කරදීමට ඔවුන්ගේ සහයෝගය ලබා දෙනු ඇත.

වැඩි විස්තර දැනගැනීම සඳහා www.olympic.lk/harassmentisnogame වෙත පිවිසෙන්න.