GoodLife X Accelerator දෙවැනි අදියර සාර්ථකව නිමාවට පත්වෙයි

ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර ප්‍රවර්ධන වැඩපිළිවෙලක් වන GoodLife X Accelerator හි දෙවැනි අදියරේ අවසාන වැඩසටහන, Demo Day නමින් පසුගියදා පැවැත්වුණි.

නවෝත්පාදන හා තිරසාර ව්‍යවසාය සංවර්ධනය අරමුණු කරගත් මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සංවර්ධනය කිරීමේ නියුතුව සිටින GIZ ආයතනය මගින් ආරම්භ කරන ලද අතර  ඊට අදාළ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම GoodLife X (GLX) ආයතනය හරහා සිදුකෙරේ. 

දෙවැනි අදියරේදී ඒ සඳහා තෝරාගැනුණු ව්‍යවසායකයින්ට ගෝලීය මට්ටමේ දැනුමක්, විශේෂ පුහුණුවක් හා උපදේශකත්වයක්, ප්‍රායෝගික සහායක් හා අරමුදල් සම්පාදනය ඇතුළු ආයෝජන අවස්ථා ද හිමිවිය. GLX Accelerator දෙවැනි අදියරට සහභාගී වූ ව්‍යවසායකයින් 10 දෙනාට ශ්‍රී ලංකාව, ජර්මනිය හා සෙසු යුරෝපීය රටවල් වෙතින් ආයෝජන ලබාගැනීම හා ගෝලීය වෙළෙඳපොළ කරා ඔවුන්ගේ ව්‍යාපාර ගෙනයාමට අන්තර්ජාතික සහාය දිනාගැනීම, මෙම Demo Day වැඩසටහන සංවිධානය කිරීමේ ඉලක්කය විය.

නව සාමාන්‍යය තත්ත්වය යටතේ එය පැවැත්වුණේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමිනි. ඉකුත් දෙසැම්බර් 2 වැනිදා පැවැති මෙම අවස්ථාවට සම්බන්ධ වූ Calcey Technologies ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම GLX හි අධ්‍යක්ෂ මංගල කරුණාරත්න මහතා, දෙවැනි අදියරට සම්බන්ධ වූ සියලු ව්‍යවසායකයින්ට සිය සුබපැතුම් එක්කළේය. “ඔබේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් සඳහා සුබපැතීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම GLX කණ්ඩායමේ කාර්යභාරයත් මෙහිදී අගය කළ යුතුයි. උදාහරණයක් ලෙස ඩිල්මා සමාගම වැනි තවත් ආයතන කිහිපයක් නිර්මාණය කිරීමට ඔබට හැකිවුණොත්, එය සාමාන්‍ය භාණ්ඩ හා සේවා සැපයුමක සිට අගය එකතු කළ නිස්පාදන හා සේවා සැපයීම දක්වා සැබෑ වෙනසකට මුලපිරීමක් ලෙස සැළකිය හැකියි”, ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ ඒ ව්‍යාපාර සතු නවෝත්පාදන හා තිරසාර ගුණාංග මත තෝරාගනු ලැබූ මෙම ව්‍යාපාර ආයතනවල හිමිකරුවන් හට සති 12ක ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් ලෙස GLX Accelerator ක්‍රියාත්මක විය. එහිදී ක්‍රමෝපාය පුහුණුව, සැලසුම්කරණය, ජාත්‍යන්තර උපදේශනය හා ජර්මනියේ බර්ලින් ESCP පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවේ (GLX Accelerator වැඩසටහනේ හවුල්කාර ආයතනයකි) සිසුන්ගේ ප්‍රායෝගික සහාය ද නව ව්‍යවසායකයින්ට හිමිවිය. මෙසේ අලුත් ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ උපදේශකයින් අතර සහයෝගීතාව මගින් අලුතින් සිතීමටත්, අලුත් දැනුම නිර්මාණයට සහ එකට එක්වී ගැටලු විසඳීමටත් විශාල අවස්ථාවක් නිර්මාණය විය.

“GLX දෙවැනි අදියරේදී අලුත් ව්‍යාපාර ආයතන 10ක් සමඟ වැඩකිරීමට ලැබීම විශාල සතුටක්. ඇත්තෙන්ම ඔවුන් සමඟ එකතු වී, ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රමෝපාය සහ ගමන්පථය නිශ්චය කිරීමට ලැබුණු අවස්ථාව ගොඩක් වටිනා අත්දැකීමක්. අප හා එක්වූ සියලු ව්‍යවසායකයින් විශාල දැක්මක් සහිත අය බව මගේ විශ්වාසයයි. එනිසා ඔවුන්ගේ ව්‍යාපාර ගමනට සම්බන්ධ වී, ඔවුන්ගේ ඉලක්ක ජයගැනීමට උපකාර කිරීමට ලැබීම විශාල සතුටක්”, යනුවෙන් GLX Accelerator වැඩසටහන් කළමනාකරු සන්චිත සිල්වා පැවසීය.

මෙහි අවසන් වැඩසටහන වූ Demo Day ෆේස්බුක් හා යූට්යුබ් හරහා සාර්ථකව විකාශනය විය. ඊට අමතරව දෙස් විදෙස් හවුල්කරුවන්ගේ ඩිජිටල් වේදිකා 20ක පමණ සජීවී ලෙස විකාශනය වෙමින් වඩා පුළුල් ආවරණයක් ලබාගැනීමට ද ඊට හැකිවිය. BusSeat, Good Folks, Local Forecast, Mindful Travels, Moonshadow Naturals, Olai, Owita Organics, RAW, Sebastco සහ Wawamu යන අලුත් ව්‍යාපාර 10 මෙවර GLX Accelerator වැඩසටහන සමඟ එක්ව තිබුණි.

මෙම වැඩසටහන අතරතුරදී අලුත් ව්‍යවසායකයින්ට විශාල සහායක් ලබාදුන් පැරිසියේ සහ බර්ලිනයේ ESCP ව්‍යාපාර පාසල් අංශ නියෝජනය කළ ව්‍යාපාර උපදේශකයින් වන ජැන් එලර්ස්, මාර්ටින් කප්, පීටර් බෝර්චර්ස් සහ සෙබෙස්ටියන් ෆිට්කෝ යන අයට තම කෘතවේදීත්වය පිරිනැමීමට ද ව්‍යවසායකයෝ පියවර ගත්හ. ESCP යනු ජර්මනියේ පිහිටි එරට රජයේ අනුමැතිය ලත් ප්‍රමුඛතම සහ කීර්තිමත්ම ව්‍යාපාර පාසලකි.

බර්ලින් ESCP ව්‍යාපාර පාසලේ අධ්‍යාපන, වෘත්තීය සංවර්ධන හා ආයතනික සබඳතා විධායක අධ්‍යක්ෂ ජැන් එලර්ස් කියාසිටියේ, 2019 වසරේ කොළඹදී සාර්ථකව පැවැති GLX Accelerator හඳුන්වාදීමේ වැඩසටහන ලැබුණු ආකාරයේ සාර්ථකත්වයක්, මෙවර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැති වැඩසටහනේදී අත්කරගත හැකි වනු ඇතැයි තමා විශ්වාස නොකළ බව ය. එහෙත් එම හැඟීම වැරදි යැයි මේ වනවිට තහවුරු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. “මෙම ව්‍යාපාර සියල්ලක් ම තවමත් ආරම්භක අදියරේ පවතින සමාගම්. එනිසා ම අරමුණු සහගතව, ප්‍රමුඛතා පෙළගස්වමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

ඊට අමතරව අනාගත පියවර සඳහා සූදානම් වීමක් ලෙස විවිධ අවස්ථාවන්හිදී ඉතා වැදගත් මානව සම්පත් හා නායකත්වය හා බැඳුණු තීරණ ගැනීමට මේ සියලු ව්‍යවසායකයින්ට සිදුවුණා. එම තීරණ ගැනීමේදී එකමුතුව ඒ පිළිබඳ සමාලෝචනය කිරීමේ අවස්ථාවත් අපට හිමිවුණා. එම මාර්ගෝපදේශකත්වයට අතිරේකව,  GLX Accelerator වැඩසටහනේ සාමාන්‍ය ඉගෙනුම් වාර මෙන්ම පැහැදිලි දැක්ම තුළින් ද නව ව්‍යවසායකයින්ට විශාල ප්‍රතිලාභ අත්වූ බව මගේ නිරීක්ෂණයයි”, යනුවෙන් ජැන් එලර්ස් සඳහන් කළේය.

මේ අතර පීටර් බෝචර්ස් සහ සෙබෙස්ටියන් ෆිට්කෝ පැවසූයේ, නව ව්‍යවසායකයින්ගේ පැහැදිලි ජවය සහ, අර්ථාන්විත යමක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් තුළ පැවති උනන්දුව තම සිත් ඇදගත් බවය. “අපේ මාර්ගෝපදේශනය ලබාගත් සියලු ව්‍යවසායකයින් සතුව විශිෂ්ට අරමුණක් සහ විශිෂ්ට නිෂ්පාදන තිබෙනවා. ඔවුන්ගේ ජවය සහ උනන්දුව නිසා අපේ උපදේශන වාර කිසිවක් නියමිත වේලාවට අවසන් වුණේත් නැහැ. එබැවින් එම ව්‍යාපාරවල අනාගතය වගේම ඔවුන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට සිදුකිරීමට සැරසෙන ධනාත්මක බලපෑම පිළිබඳව අපිට විශාල සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා”, ඔවුහු වැඩිදුරටත් විස්තර කළහ.

“කොවිඩ් 19 වැනි අර්බුදකාරී වාතාවරණයක් යටතේ මේ වැඩසටහනට සම්බන්ධ වීමෙන් මා උගත් ප්‍රධාන කාරණයක් තිබෙනවා. ඒ තමයි ඕනෑම දුෂ්කර අවස්ථාවක් තුළ වුවත් සාර්ථකත්වය සඳහා අවස්ථා පවතිනවා. සමස්තයක් ලෙස මෙම වැඩසටහන ඊට සුදුසු ම මොහොතේ ක්‍රියාත්මක වූවක් බව මගේ හැඟීමයි.  ඒ වගේම අන්තර්ජාලය හරහා පැවැති සාකච්ඡා සහ ඉගෙනුම් වාර තුළින් වැඩසටහන වේගයෙන් ඉදිරියට ඇදුණා”, යනුවෙන් මාර්ටින් කප් පැවසීය.

2020 වසර සඳහා වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් GLX වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂිකා රන්දුලා ද සිල්වා පැවසුවේ, නවෝත්පාදනය හා තිරසාර බව අතවශ්‍ය ම ක්ෂේත්‍ර කරා පිවිසෙමින් ආසියාවට අනන්‍ය වූ ගැටලු විසඳීමට GLX වැඩසටහන සූදානමින් පසුවන බව ය. “අපේ ආර්ථිකයටත් සමාජයටත් යහපත උදා කරන සහ, පුළුල් දැක්මක් සහිත ව්‍යවසායකයින්ගේ කටයුතු සඳහා සහාය වීමට ලැබීම අපටත් විශාල ගෞරවයක්. අලුත් ගමන තවමත් පටන් ගත්තා පමණයි. සහයෝගයෙන් නිර්මාණශීලීව යා යුතු මඟ තවත් දිගුයි”, ඇය ප්‍රකාශ කළාය.