“සම්පත් බැංකුව” රජරට විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියන් වෙනුවෙන් වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් දියත් කරයි

රජරට විශ්ව විද්‍යාලයීය උපාධි අපේක්ෂක සිසු සිසුවියන්ගේ ව්‍යවසාය හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින් සම්පත් බැංකුව විසින් දියත් කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ තවත් පියවරක් පසුගියදා සාර්ථකව නිම විය. රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය මේ වසර තුළ පවත්වනු ලැබූ දෙවන වෙබ් සම්මන්ත්‍රණයයි.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වන සම්පත් බැංකුවේ සම්පත් සවිය සමාජ සත්කාරක වැඩසටහන යටතේ පවත්වනු ලැබූ මෙම සම්මන්ත්‍රණය තුළින් අධ්‍යයන හා ව්‍යාපාරික ක්ෂේත්‍රය අතර සවිමත් සබඳතාවක් ගොඩ නගමින් තමන්ගේම ව්‍යාපාරයක් බිහිකිරීම වෙනුවෙන් සිසු සිසුවියන් අතර විශ්වාසය ගොඩනැගීම හා ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවීම සම්පත් බැංකුවේ බලාපොරොත්තුවයි. ඒ සඳහා වන නව ව්‍යාපාර අදහස් සංවර්ධනය සඳහා අවස්ථා හඳුනා ගැනීමනිර්මාණශීලීත්වයඅවස්ථා සහ ශක්‍යතාවයන් ඇගයීම හා ව්‍යාපාර සැලසුමක වැදගත්කම වැනි වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණය තුළින් පියවර ගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී තුසිත නාකන්දල මහතා “මෙරට අනාගත නායකයන් වන විශ්ව විද්‍යාල සිසු සිසුවියන්  සමඟ මේ ආකාරයේ සම්මන්ත්‍රණ මාලාවක් දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අනාගත ව්‍යවසායකයන් ලෙස රටේ ඉදිරි ගමන වෙනුවෙන් දායක කර ගැනීමට ඔවුන්ගේ දැනුමහැකියාවන් මෙන්ම ආකල්ප වර්ධනය කිරීම පවතින තත්වය තුළ කාලීන අවශ්‍යතාවයක්. ඒ තුළින් රැකියා සොයා යන උපාධිධාරියකු නොව රැකියා උත්පාදනය කරන ව්‍යවසායකයකු බිහි කිරීමට හැකියාව ලැබෙන අතරම එය රටේ ඉදිරි ගමනටත් විශාල ශක්තියක් වන බව සම්පත් බැංකුව ලෙස අපගේ විශ්වාස කරනවා. යනුවෙන් පවසා සිටින ලදී.

සම්පත් බැංකුව මෙම වෙබ් සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරනු ලැබුවේ බැංකුව සහ රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය අතර ඇති කර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමෙහි තවත් පියවරක් ලෙසය.

මේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජරට විශ්ව විද්‍යාලයීය කළමනාකරණ පීඨයේ තොරතුරු පද්ධති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බුද්ධික රණවීර මහතා පවසා සිටියේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළින් ව්‍යාපාර හා කළමනාකරණය පිළිබඳ න්‍යායාත්මක දැනුමක් ලබා ගැනීමට අවකාශ උදා වුවත් ඒ සම්බන්ධ ප්‍රායෝගික මට්ටමේ දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව ඉතා විරලයි. සම්පත් බැංකුවේ වෙබ් සම්මන්ත්‍රණයෙන් හිමිවන ප්‍රායෝගික දැනුම තුළින් ඔවුන්ගේ ව්‍යවසාය හැකියාවන් මෙන්ම ව්‍යාපාර අදහස් පුළුල් කර ගැනීමටත්, ව්‍යාපාර අවස්ථාවන් හඳුනා ගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම හිමි වෙනවා. එය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. ඉදිරියේදීත් මෙවැනි සම්මන්ත්‍රණයන් තුළින් විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ අනාගතය සවිමත් කිරීමට සම්පත් බැංකුවේ දායකත්වය හිමිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවායනුවෙන් පැවසීය.

සම්පත් බැංකුවේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සඳහා රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂක තෙවැනි හා අවසන් වසර සිසු සිසුවියන් 270කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වූ අතර සම්මන්ත්‍රණය පිළිබඳ ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය.

මෙම සම්මන්ත්‍රණ මාලාවේ මීළඟ පියවර වන්නේ ව්‍යාපාර සැලසුම්කරණය පිළිබඳ සැසියයි.

“සම්පත් සවිය” යනු  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය වෙනුවෙන් සම්පත් බැංකුව විසින් දියත් කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනයි. 2013 වසරේ එම වැඩසටහන හඳුන්වා දුන් දින සිට සම්පත් බැංකුව ජාතික වාණිජ මණ්ඩලය, ආනයන සංවර්ධන මණ්ඩලයවිශ්ව විද්‍යාලකාර්මික විද්‍යාලකලාපීය වාණිජ මණ්ඩල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සහයෝගයෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් පවත්වා ඇති අතර ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම තරුණයින්කාන්තාවන්  ඇතුළු අංකුර ව්‍යවසායකයන් හට සුවිසල් සහායක් ලබා දී ඇත.