එන්නත්කරණයට වසරයි, ජාතික සැමරුම් වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැබෙන 29 දිනට වසරක් පිරීම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පෙරවරුවේ පැවැත්වේ.


මෙම වැඩසටහනට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැළසුම් කර ඇත. එමෙන්ම ප්‍රාදේශිය රෝහල් වලින් ඉහළ දිවයිනේ සෑම රෝහලකම සහ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකම සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද මෙයට සමගාමීව පියවර ගැනේ.


සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම සැමරුම් වැඩසටහන එකම තේමාවකින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, 29 දින පෙරවරු 10.06 ට මේ වෙනුවෙන් ආශිර්වාද පහනක් දැල්වීමට කටයුතු යෙදේ.


එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා මෙරටට එන්නත් පරිත්‍යාග කළ විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුලු විදෙස් නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.


විශේෂයෙන්ම වර්ෂ පූර්ණ එන්නත්කරණ සැමරුම් වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත්කරණ සතියක් එළැඹෙන 29 දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර, ජනතාවගේ රැකවරණය බූස්ටර් එන්නත ලෙසින් එම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ආයතනයන් තුළ ක්‍රියාත්මක කෙරේ.


2021 ජනවාරි 29 දින මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කළ අතර, මේ වන විට මෙරටට මිලියන 51කට අධික එන්නත් තොඟයක් ගෙනවිත් තිබේ. මේ අතර මෙම කාලසීමාව තුල මෙරට සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල හේතුවෙන් එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් 05 අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බව ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.