#Noගුටි දෙවැනි අදියර යටතේ ගාල්ලේ සිට කොළඹට ‘ළමා සුරැකුම් යාත්‍රාව’

#NOගුටි තේමාව යටතේ ‘ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ’ දෙවැනි අදියර 2022 අප්‍රේල් මස 01 දින ගාල්ලෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධානය නොකෙරුණු ආකාරයේ ළමා සුරැකුම් යාත්‍රාවක් පැවැත්වෙනු ඇත. ළමා හිංසනයට තිත පදනම (SCC) සහ ළමා ආරක්ෂණ සන්ධානය (CPA) එක්ව සංවිධානය කරන මෙම යාත්‍රාව, මුහුදුබඩ මාර්ගය දිගේ සංචාරය කර අප්‍රේල් 02 දින කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් අවසන් වනු ඇත.


ගාල්ලෙන් ආරම්හ වී, බේරුවල, කළුතර හරහා කොළඹ කොටුව වෙත ළඟා වන මෙම යාත්‍රාවේදී, පසුගිය මාස 18 තුළ අපයෝජනයට ලක්කර මරාදමන ලද දරුවන් 12 දෙනෙකු සිහිපත් කරමින් මිනී පෙට්ටි 12 ක්ද රැගෙන යාමට නියමිත ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණය වෙනුවෙන් ස්වේච්ඡා තානාපතිවරුන් ලෙස 2022 පෙබරවාරි 21 දින පත්කරන ලද සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, කලාකීර්ති නිරංජනී ෂන්මුගරාජා, අභිෂේකා ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධනද මෙම යාත්‍රාව හා එක්වනු ඇත.


“ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක්. දරුවෙකු නිවසෙන් පිටව ගිය පසු ඔහුට හෝ ඇයට මිනී පෙට්ටියක සැතපී නැවත නිවසට පැමිණීමට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් නැහැ. මේ තත්ත්වයට පිළියම් සෙවීමට අප දැනටමත් ප්‍රමාද වැඩියි. මේ සඳහා දරන උත්සාහයේ එක් පියවරක් වශයෙන්, මෙම යාත්‍රාවේ සමාප්ති උත්සවයේදී දරුවන් 225 දෙනෙකු විසින් ‘#225මඕන’ යන තේමාව යටතේ ඓතිහාසික අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ තුළ දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම මෙහි ඉලක්කය වී තිබෙනවා. මීට අමතරව මහජන පෙත්සමකට ප්‍රසිද්ධියේ අත්සන් තැබීමටත්, ළමා ආරක්ෂණ ස්වේච්ඡා තානාපතිවරුන්ගේ සහ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් ප්‍රධාන නගර වල විවිධ වැඩසටහන් පැවැත්වීමටත් අප සැලසුම් කර තිබෙනවා.” ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෘ-සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කාරිනී වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පැවසුවා ය.


අප්‍රේල් 01 දින මෙම යාත්‍රාවට සහභාගී වන ජනප්‍රිය තරු සමග එක්වී, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය සමාජයට සන්නිවේදනය කිරීමට එක්වන මෙන් ළමා හිංසනයට තිත පදනම ජනතාවට ආරාධනා කර සිටී. මෙම යාත්‍රාව අප්‍රේල් 01 දින පෙරවරු 9.00 ට ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින්ද, පස්වරු 1.30 ට බේරුවල වෙළඳපොළ අසලින්ද, පස්වරු 4.00 ට කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසලින්ද ආරම්භ වේ. අප්‍රේල් 02 දින වැඩසටහන පෙරවරු 9.00 ට විශේෂ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වී පස්වරු 2.30ට නිදහස් චතුරශ්‍රයේදී විශේෂ සමාප්ති උළෙලකින් නිමාවේ.


දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන පිළිගත් සංවිධාන සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානය නිර්මාණය කිරීමට ළමා හිංසනයට තිත පදනම කටයුතු කළේ ය. දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම නතර කිරීමත්, ශාරීරික දඬුවම් ලබාදීම දණ්ඩ නීති සංග්‍රය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2021 පෙබරවාරි මාසයේදී ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමත් අරමුණු කරගනිමින්, SCC පදනම විසින්, CPA සමඟ එක්ව මෙම #NOගුටි වැඩසටහන ආරම්භ කරන ලදි. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉලක්කගතව හා සාමූහිකව කටයුතු කිරීම තුළින්, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් අත්කරගත හැකි බව මෙම සන්ධානය දැඩිව විශ්වාස කරයි.


ළමා ආරක්ෂණය යනු සාමූහික සමාජ වගකීමකි. SCC පදනම සහ CPA එක්ව ළමා අපයෝජනවලට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වයං පාලන ආචාර ධර්ම පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සහයෝගී ප්‍රයත්න දියත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම ප්‍රජාව තුළ යළි යළිත් වින්දිතයින් බිහිවීම වැළැක්වීමට ද බලාපොරොත්තු වෙයි. මෙම සමාජ සද්කාර්යය සඳහා සිය දායකත්වය ලබාදීමට කැමැති ඕනෑම අයෙකුට www.stopchildcruelty.com වෙබ් අඩවිය හෝ www.facebook.com/stopchildcruelty ෆේස්බුක් පිටුව හෝ [email protected] ඊමේල් ලිපිනය හරහා ඊට සම්බන්ධ විය හැක.