‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023’ අගෝස්තු මස 15 වනදා සිට ආරම්භ කරයි

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර, වයඹ හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2023 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ අගෝස්තු මස 15 වනදා ආරම්භ වේ.


සමපෝෂ අනුග්‍රාහකත්වය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල පළාත් 5 මූලික කරගනිමින් වෙන් වෙන් වශයෙන් අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය පුරා පැවැත්වෙයි.


මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 650කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් පිරිනමනු ලබයි.


මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක (සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) උපාලි අමරතුංග මහතා මෙසේ සඳහන් කළේය. ” අනාගත පරපුර කායික හා මානසික සුවතාව ප්‍රවර්ධනය කරමින් දරුවන් ජාතික තලයට ගෙන යාමට අවශ්‍ය කාර්යභාරය සිදු කිරීමට CBL සමපෝෂ ලබා දෙන සහයෝගය ඇත්ත වශයෙන්ම අගයකොට සලකනවා.”


වයඹ පළාත් ක්‍රීඩා උළෙල මෙහි පළමු ක්‍රීඩා උළෙල ලෙස අගෝස්තු මස 15 වනදා සිට 18 වනදා දක්වා වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් නියෝජය අධ්‍යාපන අධ්‍යක්ෂක (සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන) ඩබ්.එම්.එච්.කේ අබේකෝන් මහතා මෙසේ පැවසීය. ”පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව තාක්ෂනය මඟින් ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව වැඩි දුර දැනුවත් වෙන්න, ක්‍රීඩකයෙක් ලෙස අභිමානයක් ගොඩනගා ගන්න, ඒ වගේම එම අභිමානය හරහා මේ රටට කීර්තියක් ගෙනෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්න සමපෝෂ ලබා දෙන මේ ජාතික අත්වැල ප්‍රශංසනීයයි.”


මෙහි දෙවන ක්‍රීඩා උළෙල වන ඌව පළාත් ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 01 වැනිදා සිට 04 වනදා දක්වා පැවැත්වෙන අතර ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) එච්.ජී චන්න කරුණාසේන මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ”බිම් මට්ටමේ සිට ජාතික තලයට එන්න උත්සාහ කරන දරුවන් ඉහළට ඔසවා තබන්න අපට අනුග්‍රහය දක්වලා මේ ක්‍රීඩා උළෙල පැහැදිලි සාර්ථකත්වයක් කරා ගෙනයන්න සමපෝෂ තමයි මුල් වතාවට ඉදිරිපත් වුණේ.”


තෙවන ක්‍රීඩා උළෙල ලෙස උතුරු මැද හා දකුණු පළාත් ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මස 05වනදා සිට 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී සහ දකුණු පළාත් ක්‍රීඩා උළෙල බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.


මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන) එම්.ඒ.ටී.ඩී මාපලගම මහතා මෙසේ තම අදහස් පැවසීය. ”අවුරුදු ගණනාවක් පුරා සමපෝෂ වයඹ පළාතේ දරුවන්ගේ ක්‍රීඩාශීලීත්වය ඔප්නංවන්න, ඔවුන්ට දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්න වගේම, ජාතික තලයට පා තබන්නට අවශ්‍ය වපසරිය සකස් කර දෙනවා. අග හිඟකම් ඉවසගෙන ක්‍රීඩාවට කැපවුණු මේ දරුවන් රැකගනිමින් ඔවුන්ට ඉදිරියට එන්නට සමපෝෂ ලබා දෙන සහයෝගය පිළිබඳව මම ඉතාමත් අගය කොට සලකනවා.”


දකුණු පළාත් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන) බී.එම් ක්‍රිෂාන් දුමින්ද මහතා මෙසේ පැවසීය. ”දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මූලිකව සංවිධානය කරනු ලබන මෙම දකුණු පළාත් ක්‍රීඩා උළෙල සඳහා සමපෝෂ සන්නාමයක් වශයෙන් දරුවන්ගේ ක්‍රීඩා, අධ්‍යාපනය හා පෝෂණය ඉහළ නැංවීමට මේ සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සියලු දෙනා වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.”
අවසන් ක්‍රීඩා උළෙල වන නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 19වනදා සිට 23 දක්වා කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන) ඊ.පී.ජී.අයි ධර්මතිලක මහතා ඒ පිළිබඳව මෙසේ සඳහන් කළේය. ”අවුරුදු ගණනාවකට පසු පාසල් ක්‍රීඩාව නගා සිටුවන්න නැගෙනහිර පළාතට එන පළමු අනුග්‍රාහකයා සමපෝෂ. මේ ක්‍රීඩා උළෙල නැගෙනහිර පළාතට විශාල සම්පතක්. දේශීය නිෂ්පාදනයක් රටේ දරුවන් වෙනුවෙන් මේ කරන සේවාව පිළිබඳව කියාගන්න බැරි සතුටක් තිබෙනවා. ස්තූතිවන්ත වනවා ඔවුන්ට.”


CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී, තිලංක ද සොයිසා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ” ක්‍රීඩාවේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා පෝෂණය සහ ශක්තිය වගේම දැඩි කැපවීම, ඉවසීම, ආත්ම විශ්වාසය, විනය වැනි ගුණාංග අතිශය වැදගත්. ඒ හරහා ක්‍රීඩාව තුළින් මනා පෞරුෂත්වයකින් යුතු නායකයින් බිහිකරනු ලබනවා.’’


මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී සචී ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය. ”සමපෝෂ හරහා අපගේ වෑයම වන්නේ පෝෂණයෙන් පමණක් නොව ආත්ම විශ්වාසයක් සහිත සියලු හැකියාවන්ගේ වර්ධනයකින් යුත් තරුණ පරපුරක් බිහි කිරීමයි. ඒ අනුව ‘දිනන දරුවෝ’ තේමාව යටතේ සමාගමක් ලෙස අප මෙවැනි ක්‍රීඩා උළෙලවල් සංවිධානය කරමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමට දායක වීම ඉමහත් සතුටක්. ”


නිරෝගීමත් පෝෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහිකර ගැනීමට සමබල උදෑසන ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳව සමපෝෂ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව CBL සමපෝෂ පවත්වාගෙන යන සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන CBL සමාජ සත්කාර පෙරදැරි කරගත් වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරකි.