ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින්

ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අංශය විසින් බණ්ඩාරගම ඉදි කරන ලද පර්ල් බේ සංකීර්ණය නිළ වශයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම සුවිශේෂී විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණයට යුරෝපියානු සෞඛ්‍ය සහ ආරක්ෂණ තත්ත්වයන්ට අනුකූලව සහතික කළ ජල උද්‍යානය සහ කාර්ටින් ක්‍රීඩාව සම්බන්ධ ලෝක නියාමන ආයතනය වන FIA/CIK විසින් සහතික කළ විනෝදාත්මක සහ වෘත්තීයමය කාර්ටින් ධාවන පථය ඇතුළත් වේ. නව පහසුකම ස්ප්ලෑෂ්බේ (ජල ස්ලයිඩ), ස්පීඩ්බේ (විනෝදාත්මක කාර්ටින්), ටාර්ගට්බේ (වායු රයිෆල් කලාපය) සහ යම්බේ (ආපන ශාලා) යන ප්‍රධාන කලාප හතරකින් සහ මුළු පවුලටම විවේකයෙන් ගත කළ හැකි තවද ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ප්‍රදේශවලින් සමන්විත වේ. පර්ල් බේ උද්‍යානය ජනවාරි 26 වන දින මහජනතාවට විවෘත කෙරෙන අතර අද සිට www.thepearlbay.com හරහා ටිකට්පත් මිලදී ගැනීමේ හැකියාව ඇත.


ජල ක්‍රීඩා ඇතුළත් ස්ප්ලෑෂ්බේ කලාපය කුළුණු 04ක් සහ විවිධ විනෝදාත්මක ත්‍රාසජනක මට්ටම්වලින් සමන්විත ජල ස්ලයිඩ් 16කින් සමන්විතය. තවද මීටර් 88 gravity drop ස්ලයිඩයක්, මීටර් 120 loophole ස්ලයිඩයක්, මීටර් 40 matt racer ස්ලයිඩයක් සහ ස්ලයිඩ් හතරක ජල ක්‍රීඩා ව්‍යුහයකින් සමන්විත ළමයින්ටම වෙන්වුණු කලාපයක්ද ඇත.
පර්ල්බේ පහසුකම සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී යෙදවූ ආයෝජනයට වඩා ධනාත්මක පාරිභෝගික අත්දැකීම සහ ආරක්ෂාව ඉතා වැදගත් කොට සලකා ඒ සදහා මුල් තැන දී ඇත. අරිහාන්ට් ඉන්ඩ්‍රස්ට්‍රියල් කෝපරේෂන් විසින් නිෂ්පාදනය කර සවිකළ ස්ලයිඩයන් පුළුල් පරීක්ෂණයට ලක්කර “භාවිතයට සුදුසු සහතිකය” (“Fit for Use Certification”) ලබා දී ඇත.
තවද ලාබ ලබන ආයතනයක් නොවන TÜV Nord නම් ජාත්‍යන්තර සහතිකකරණ ආයතනය, මෙම ජල උද්‍යානය යුරෝපියානු ආරක්ෂණ තත්ත්වයන්ට අනුකූල බවට පුළුල් විමර්ෂණ හරහා තහවුරු කිරීමට තම කණ්ඩායමක් මෙම ජල උද්‍යානය වෙත යොමු කරන ලදී.


මීට පෙර ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් ලෙස හදුන්වන ලද කාර්ටින් පහසුකමද ඇතුළත්ව පර්ල් බේ පරිශ්‍රය අක්කර 23ක භූමියක විසිරී යයි. ගස් කොළන්වලින් වටවී ඇති සුන්දර දිය පහරකට මායිම් වූ මෙම භූමිය පිහිටා ඇත්තේ කොළඹ සිට විනාඩි 30ක පමණ කාලයකින් ළගාවිය හැකි පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නවයි.


විශේෂයෙන් ඉදිකරන ලද විනෝදාත්මක පහසුකම්ද ඇතුළු මෙම පරිශ්‍රය ඕනෑම ආකාරයේ ආයතනික හෝ පෞද්ගලික උත්සව සහ සැමරුම් සදහා වෙන්කරගත හැකි අතර ඕනෑම අවශ්‍යතාවකට සරිලන පරිදි සහාය ලබාදීමට පර්ල්බේ කණ්ඩායමක් සූදානමින් කර ඇත.
විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් සමූහයේ සභාපති රම්ලි මොහොමඩ් මහතා මෙසේ පැවසුවේය. “අප දේශයේ තිරසාරභාවය සහ ආර්ථික සංවර්ධනය උදෙසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට විවේක සහ විනෝදාස්වාද විකල්පයන් සැපයීමේ අවශ්‍යතාවය වටහාගත් අපගේ නිර්මාතෘ ඩේවිඩ් පීරිස් මහතාගේ දැක්මේ සහ දුරදක්නාභාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම උද්‍යානය හදුන්වන්න පුලුවන්. අපි හැමෝම දන්නා කොවිඩ් මෙන්ම වෙනත් බාහිර සාධක හේතුවෙන් පර්ල්බේ වැඩ කටයුතු ප්‍රමාද වුවත් අවසානයේදී ජාත්‍යන්තර විනෝදාත්මක අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ ලබා දෙන්නට හැකිවීම පිළිබදව ආඩම්බර වෙනවා. මෙම කටයුත්ත වෙනුවෙන් සුවිශාල සැළසුමක් වගේම ආයෝජනයක් සිදු කළ අතර සියලු බාධක හමුවේ එම සැළසුම යථාර්ථයක් බවට පත් කළ තරුණ සහ හදවතින් තරුණ පර්ල්බේ කණ්ඩායම පිළිබදව මම ආඩම්බර වෙනවා.”


තවදුරටත් ඔහු කියා සිටියේ සහතිකකරණය දේශීය අවශ්‍යතාවක් නොවුවත් තම සමාගම තත්ත්වයන් පිළිබද ප්‍රමිතීන් තහවුරු කිරීමට කැපවී සිටින බවයි. “මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති සීමිත අත්දැකීම් හේතුවෙන් මෙම උද්‍යානය ඉදි කිරීමේ සෑම පියවරකදීම අප ජාත්‍යන්තර සහාය ලබාගත් අතර ජල උද්‍යාන සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් කළමනාකරණය පිළිබඳ පුළුල් පළපුරුද්දක් සහ ප්‍රවීණත්වයක් ඇති විදේශ කණ්ඩායමක් බඳවා ගැනීමටද අපි කටයුතු කළා. ගුණාත්මකභාවය, පාරිභෝගික අත්දැකීම් සහ විශ්වාසය කෙරෙහි ඇති කැපවීම ඔප්පු කර පෙන්වා ඇති ඩේවිඩ් පීරිස් සමූහය මෙම ව්‍යාපෘතියේදීද ඒ බව මැනවින් පසක් කිරීමට කටයුතු කළා. අප පරිශ්‍රයට පැමිණෙන අමුත්තන් මෙරට පමණක් නොව වෙනත් විදේශ රටක මෙවැනි පහසුකමකදී ලබාගත නොහැකි අත්දැකීමක් පර්ල් බේ වෙතින් ලබාගනු ඇති බවට අපි විශ්වාස කරනවා.”