අපනයන වෙළදපොල සදහා අත්වැසුම් නිෂ්පාදන කම්හලක් දූනගහට


රබර් නිෂ්පාදන කේෂ්ත්‍රයේ වසර තිහකට වැඩි අත්දැකීම් ඇති කොරියානු සමාගමක් වන Salus Safety Robotics Pvt Ltd සමාගම විදේශ වෙළදපොල ඉලක්ක කරගත් නව රබර් අත්වැසුම් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා ගිවිසුම් ගතවිය. අදාල ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා Salus Safety Robotics සමාගමේ සභාපති එච්.කේ. ෂින් යන මහත්වරුන් අතර සිදු කෙරිණි.


Salus Safety Robotics සමාගම දූනගහ ප්‍රදේශයේ අක්කර 3ක භූමිභාගයක මෙම කර්මාන්තශාලාව ඉදිකරයි. මෙම සමාගම මෙරට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමගම මුල් අදියරේදී සෘජු රැකියා 30ක් පමණ ජනිත වන අතර, නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද යම් ප්‍රමාණයක් දේශීය වෂයෙන් මිළදී ගන්නා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා පවසයි. මෙහිදී කොරියානු සමාගම නිෂ්පාදනයේදී භාවිතා කරන ස්වයංක්‍රීය ඩිජිටල් තාක්ෂණ නූතන පරගනක දත්ත මත පදනම් වූ නව නිෂ්පාදන ක්‍රමවේදයන් මෙරට තරුණයන්ට ලබා ගැනීමට හැකිවීමත්, ලොව ඉහලම තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රසූත්‍ර භාවිතයට අවස්ථාව හිමිවීමත් වඩා වැදගත් බව සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි හා Salus Safety Robotics සමාගමේ සභාපති එච්.කේ. ෂින් යන මහත්වරුන් අතර අදාල ගිවිසුම අත්සන් කළ අයුරු


Salus Safety Robotics සමාගමේ සභාපති එච්.කේ. ෂින් මහතා අදහස් දක්වමින් මාස 06ක් ඇතුලත නිෂ්පාදන අපනයනය කිරීමට අපේක්ෂා කරන බවත්, මේ වනවිට ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව පවසයි. මුල් අදියරේදී වසරකට අඩි 40 දිග බහාලුම් 50කට වැඩි ප්‍රමාණයක් අපනයන කිරීමට අපේක්ෂා කරන අතර,පකිස්තානය,බංගලාදේශ,ඉන්දියාව හා යුරෝපා රටවලට මෙම අපනයන් සිදු කරන බවත් ෂින් මහතා පවසයි.