KALĀ හා ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය අත්වැල් බැඳගනිමින් පැවැත්වෙන කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය – ‘Pivot. Glide. Echo’, ජනවාරි 28 දා ඇරඹෙයි

දකුණු ආසියානු කලාපයේ වෙසෙන කලාකරුවන්ගේ නවතම අධ්‍යාපනික හා සෞන්දර්යය වේදිකාව වන KALĀ හී කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය, 2024 ජනවාරි මස 28 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේදී ඇරඹීමට නියමිතය. රංග කලාව නොහොත් නිපුණ ශිල්පය යන අරුත් දෙන KALĀ යන සංස්කෘත පදයෙන් ගම්‍ය වන පරිද්දෙන්ම, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා නූතන කලා ඉතිහාසයෙහි පන්නරය ලබමින් ඇරඹී, දකුණු ආසියානු කලාපයේ සියලු නූතන කලාවන් මෙන්ම, විකාශයට බඳුන්වන සමකාලීන කලාවන් සඳහාද තෝතැන්න බවට KALĀ පත්වනු ඇත.

කලාව සඳහා වන ගෝලීය අවකාශය ගොඩ නැංවීමේ පදනමක් ලෙසින් සංවිධානය වන මෙය ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය හා අත්වැල් බැඳගනිමින් පැවැත්වෙන්නකි. KALĀ යනු කලාව කේන්ද්‍ර කරගත් ගෝලීය සහයෝගීතාවක් නැංවීම වෙනුවෙන් සමස්ත දකුණු ආසියානු කලාපීය සහ ඩයස්පොරාහී කලාකරුවන් මෙන්ම ඔවුන්ට අත්වැල් සපයන පාර්ශවයන් වෙත ආරාධනා කරනු ලබන ඉසව්වකි. කලාව හා සම්බන්ධව සිටින සියලු පාර්ශවයන්ගේ මෙන්ම, විවිධ කලාවන් රසවිඳින්නන්ගේ එම අවශ්‍යතා සපුරාලීම පිණිස එම KALĀ අවකාශය භාවිතා වනු ඇත.

‘Pivot. Glide. Echo.’ මංගල චිත්‍ර ප්‍රදර්ශනය, දශක අටක් පුරා දකුණු ආසියානු කලා කෙත අස්වැද්දූ කලාකරුවන්ගේ නිර්මාණ රසිකයින් හමුවට ගෙන එනු ලැබේ. එම නිර්මාණ, KALĀ හි සහකාර සංරක්ෂණ ශිල්පිනිය මරියම් බෙගම්, එහි සංරක්ෂණ උපදේශිකා, අබුඩාබි Guggenheim කෞතුකාගාරය හා අනුබද්ධ සංරක්ෂණ ශිල්පිනී සංදිනි පොද්දාර් ගේ මගපෙන්වීම යටතේ රසිකයින් වෙත ප්‍රදර්ශනය කෙරෙනු ලබයි. කීර්තිමත් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී ලයනල් වෙන්ඩ්ට් මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹුනු කලා ගමන් මග පසක් කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික හා ඩයස්පෝරා හි නුතන හා සමකාලීන කලාකරුවන්ගේ සංවාද සඳහා අද්විතීය අවස්ථාවක් සපයයි.

මෙම ප්‍රදර්ශනයේදී ලයනල් වෙන්ඩ්ට් කලා ශිල්පියාගේ මෙන්ම, තවත් ප්‍රකට කලා ශිල්පීන්ගේ නිර්මාණ රැසක් රසිකයින් සඳහා විවෘත වේ. ජෝර්ජ් ක්ලේසන්, ජෝර්ජ් කීට්, අයිවන් පීරිස්, එල්. ටී. පී. මංජු ශ්‍රී, එච්. ඒ කරුණාරත්න, කිංස්ලි ගුණතිලක, රකී නිකහැටිය ආදී කලාකරුවන් ගේ ද, මහේන් පෙරේරා, ලීස් ප්‍රනාන්දු, සෙබස්තියන් පොසින්ගිස්, මොහන්නද් කාදර්, සස්කියා පින්ටලන්, රූපනීදන් පාක්‍යරාජා, අනෝලි පෙරේරා ආදී ශිල්පීන් හා ශිල්පිනියන් රැසකගේ විශිෂ්ට නිර්මාණ වලින් මෙම ප්‍රදර්ශනය සමන්විත වනු ඇත. එමෙන්ම වසන්ත යෝගනාදන්, කැසී මචාඩෝ, කාවන් බාලසූරිය හා මුවිදු බිනෝයි යන ශිල්පීන්හු ද එම ප්‍රදර්ශනයෙන් සිය නිර්මාණ සමගින් රසිකයින් හමුවට පැමිණෙති.

මෙරට කීර්තිමත් නූතන හා සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය පැවැත්වෙන ලයනල් වෙන්ඩ්ට් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ වාණිජ අග නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සංස්කෘතික මධ්‍යස්ථානයකි. ප්‍රදර්ශනයට සමගාමීව කලා සංවාද, වැඩමුළු, උත්සව ආදියෙන් ද සමන්විතව සංක්ෂිප්ත වැඩසටහන් ද මෙහිදී පැවැත්වීමට නියමිතය. මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන, පුද්ගලයින් හා තෝරාගත් සත්කාරක හවුල්කරුවන්ගේ සහයෝගයෙන් එම වැඩසටහන් 2024 ජනවාරි 29 වැනිදා සිට, පෙබරවාරි 25 වැනි දා දක්වා පැවැත්වීමට යෙදී තිබේ.

Cinnamon Life, Paradise Road, CAL සහ විජය පුවත්පත් මෙහි ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දරන අතර රන් අනුග්‍රාහකත්වය Chatham Luxury Watches විසින් ද රිදී අනුග්‍රාහකත්වය Malca Amit සහ WineWorld දරයි. ඊට අමතරව සම අනුග්‍රාහකයින් ලෙසින් Art South Asia Project, Barefoot Gallery Colombo, Christie’s, Daily FT, Daily Mirror, Echelon, Extreme Web, Films & Stills, Food Prints by Koluu, Gini Outdoor Kitchen, GPR / Dentsu Communications මෙන්ම Hi, Hi TV, Jhaveri Contemporary, ලංකාදීප, Mullen Lowe Sri Lanka, Ocula, Paradise Road Tintagel, Sapumal Foundation, Saskia Fernando Gallery, Shrine Empire Gallery හා The Sunday Times මෙම ප්‍රදර්ශනය හා අත්වැල් බැඳගනිමින් එහි සාර්ථකත්වය වෙනුවෙන් කැප වෙයි.