SLIIT හි ICAC 2023 සම්මන්ත්‍රණය පරිගණක පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සාර්ථකව නිමාවෙයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference on Advancements in Computing – ICAC 2023) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. මෙම සම්මන්ත්‍රණයට නව සොයාගැනීම් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම්, තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධ වැඩමුළු හා ප්‍රධාන දේශන ඇතුළත්ව තිබූ අතර IEEE ශ්‍රී ලංකා ආයතනය සම්මන්ත්‍රණය සඳහා තාක්ෂණික සම අනුග්‍රහය ලබාදෙන ලදී.


ICAC සම්මන්ත්‍රණය, දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්ට සිය සොයාගැනීම්, සහ නව නිපැයුම් ඉදිරිපත් කිරීමටත්, දිරිගැන්වීම සහ දායකත්ව ලබාදීම සඳහා නව අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අගනා වේදිකාවක් නිර්මාණය කර දේ. මෙම සම්මන්ත්‍රණයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ සහ එම ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් පර්යේෂණ පත්‍රිකා 489කට වැඩි ප්‍රමාණයක් යොමු කර තිබුණි. එම පත්‍රිකා දැඩි අධීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව උසස් ගුණාත්මක භාවයකින් යුතු පත්‍රිකා 33% පමණක් ප්‍රකාශයට පත් වෘත්තිකයන් කිරීම සඳහා තෝරා ගන්නා ලදී.


සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන ලද සෑම පර්යේෂණ පත්‍රිකාවක්ම අධීක්ෂණයට ලක් කරනු ලැබුවේ පිළිගත් දේශීය හා විදේශීය විශ්ව විද්‍යාලවල ප්‍රවීණ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි. ඒ අතරින් තෝරාගන්නා ලද පර්යේෂණ පත්‍රිකා, පර්යේෂණයන්හි නියැලුණු සිසුන්ගේ හා වෘත්තිකයන් සහභාගිත්වයෙන් සම්මන්ත්‍රණයට සමගාමී තාක්ෂණික සැසි මාලා 29ක් ඔස්සේ ඉදිරිපත් කරන ලදී. මෙම සැසි මාලාවන්ට කෘතිම බුද්ධිය (Artificial Intelligence), යාන්ත්‍ර ඉගෙනුම (Machine Language Processing), පරිගණක දැක්ම (Computer Vision), ස්වභාවික භාෂා සැකසීම (Natural Language Processing), සයිබර් ආරක්‍ෂාවලිය (Cyber Security) යනාදී නවීන මාතෘකා 12ක් යටතේ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් විය.


සම්මන්ත්‍රණයේ විශේෂයෙන් අවධානය යොමු වූයේ පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ (Computer Science and Information Technology) පර්යේෂණ, දේශීය හා ගෝලීය අවකාශයන් තුළ ආර්ථික තිරසාර මට්ටමට ළඟා වීම ශක්තිමත් කිරීමට දායක විය හැකි ආකාරය පිළිබඳවයි.


ICAC 2023 සම්මන්ත්‍රණය සඳහා ජාත්‍යන්තරව පිළිගත් කථිකයින් දෙදෙනෙකුගේ ප්‍රධාන දේශන දෙකක් ඇතුලත් විය. ජපානයේ කියූ ශූ විශ්ව විද්‍යාලයේ (Kyushu University) ඉංජිනේරු අංශයේ මහාචාර්ය කසුඕ කිගුචි “මානව චලන පිළිබඳ තත්කාලීන ඇස්තමේන්තුව හා කෘතිම චලන සංවේදන ජනනය කිරීම” (Real time estimation of human motion intention and generation of Artificial motion sensation) යන මාතෘකාව යටතේ සිය අදහස් දැක්විය. එහිදී ඔහු අවධාරණය කරනු ලැබුවේ මානව ආධාරක පද්ධති වැඩි දියුණු කිරීමේදී කෘතිම ස්නායුක ජාල (Artificial Neural Networks) උපයෝගී කරගනිමින් EMG හෝ EEG වැනි ක්‍රම හරහා පරිශීලකයන්ගේ චලන කල්තියා හඳුනාගත හැකි බවයි.


තවදුරටත් ඔහු සඳහන් කළේ කෘතිමව චාලක සංවේදක ඇති කිරීම සෞඛ්‍ය සහායක රොබෝවරුන් සහ VR ක්‍රීඩා නිපදවීමේදී ඉතා විශිෂ්ට කාර්යභාරයක් සිදුකරන බැවින්, කෘතීම චාලක සංවේදක ඇති කිරීම පරිශීලක අවශ්‍යතා ඒ අයුරින්ම සැපයීම සඳහා වඩා ඵලදායි ලෙස යොදා ගත හැකි බවයි.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොෂාන් රාගල් මහතා විසින් අන්තර්ජාල සබැඳි ද්‍රව්‍ය සඳහා කෘතිම බුද්ධියේ භාවිතය : නැගී එන ප්‍රවණතා සහ අනාගත ගමන් මග (AI for IOT: Emerging Trends directions) යන මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ AI සහ IOT තාක්ෂණයන්හි සබැඳියාව සිව්වන කාර්මික විප්ලවය සඳහා සෘජුව දායක වන බවයි. ESCAL ආයතනය සමඟ පවත්වන්නට යෙදුණු සහයෝගී පරීක්‍ෂණයන් මගින් ඉදිරි පරම්පරාවේ පරිගණක සඳහා කෘතිම බුද්ධියේ දායකත්වයේ වැදගත්කම නිරාවරණය වූ බවත් ඒ සඳහා අවශ්‍ය ආකෘති හා සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය. මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ ඉදිරියේදී කෘතීම බුද්ධියේ දායකත්වය සෞඛ්‍ය ආරක්ෂක සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි නව පුබුදුවාලීමක් ඇතිකරමින් ඩිජිටල් යුගයක් කරා ගමන් කිරීමට තිරසාර දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.


ICAC සම්මන්ත්‍රණය මේ වන විටත් ජාත්‍යන්තරව පිළිගත් නාමාවලීන් අතර ඉහළින් ශ්‍රේණිගත වී ඇති අතර ඒ සඳහා මීට පෙර වර්ෂයන්හි ප්‍රකාශ කෙරුණු පර්යේෂණ ප්‍රතික්‍රියාවල ගුණාත්මක භාවය සෘජුවම බලපා ඇත.


ICAC සම්මන්ත්‍රණයෙහි සභාපති සහ සහකාර පීඨාධිපති ආචාර්ය දසුනි නාවින්න අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ පර්යේෂණ පත්‍රිකා යොමු කිරීමේදී හා සම්මන්ත්‍රණයට සහභාගි වීමේ දී දෙස් විදෙස් පර්යේෂකයන්ගෙන් මෙම වසරේදී ලැබුණු විශාල ප්‍රතිචාරය ඉතාමත් සතුටුදායක බවයි. එමෙන්ම අනාගතයේදී පරිගණක හා මෘදුකාංග කර්මාන්තයට ප්‍රවිශ්ට වී නව පර්යේෂණ ඉදිරිපත් කිරීමටත් එම පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීමටත් ICAC සම්මන්ත්‍රණය සැමවිටම වේදිකාවක් නිර්මාණය කරදෙන බවයි. ඉහත අරමුණෙන් යුතුව 6 වන සම්මන්ත්‍රණය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී SLIIT ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු මේවනවිටත් සූදානම් කර ඇත. ජ්‍යාත්‍යන්තර දායකත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම මීළඟ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් වන අතර එය පර්යේෂකයන්ගේ සහ සහභාගීවන සියළු දෙනාගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරනු උදෙසා පිටුවහලක් වනු ඇත.


පරිගණක හා මෘදුකාංග ක්ෂේත්‍රයේ පර්යේෂණ පවත්වන විශ්වවිද්‍යාල සිසුන්ට ආයතන වලට හා දෙස් විදෙස් පර්යේෂකයන්ට ICAC සම්මන්ත්‍රණයෙන් ලැබෙන ප්‍රතිලාබ අතිමහත්ය. ජාත්‍යන්තර සහභාගිත්වය හා සබඳතා වර්ධනය කර ගැනීමට ලැබෙන අවකාශය සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන්නන්ගෙන් නිබඳ පැසසුමට ලක්වේ. ශ්‍රී ලංකාවට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තිබෙන පිළිගැනීම ද සම්මන්ත්‍රණයෙහි ජනප්‍රියතාව සඳහා වක්‍රව බලපා ඇති බව සහභාගී වූවන්ගේ අදහසයි.


සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කරන ලද කෘෂිකාර්මික, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි විවිධ ක්ෂේත්‍රයන් හි පර්යේෂණ ශ්‍රී ලංකාවේ ඉදිරි තිරසාර ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා පිටුවහලක් වනු නොඅනුමාන ය.