සති දෙකක් ඇතුලත වී අලෙවි මණ්ඩලය වී කිලෝ ලක්ෂ 32ක් මිලදී ගනී

සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් සහ සාධාරණ මිලකට  ගොවීන්ට වී මිලදී ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ සම්බන්ධීකරණය යටතේ ගත වූ සති දෙකක කාලය තුළ  වී  අලෙවි මණ්ඩලය  ගොවීන්ගෙන්  වී කිලෝ 32,68,600 ක  ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩිම වී ප්‍රමාණයක්  මිලදී ගෙන ඇත්තේ  නැගෙනහිර පළාතෙන් වන බවත්  නැගෙනහිර ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහය මත වී කිලෝ 18,88,950 ක්  ප්‍රමාණයක් මිලදී ගෙන ඇති  බවද ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානයේ සහයෙන්  වව්නියාව   ප්‍රදේශයෙන්  වී කිලෝ 870,350 ක් මිලදී ගෙන ඇති අතර  ඉතිරි වී කිලෝ 509,350 ක  ප්‍රමාණයක් බස්නාහිර, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයන්ට අයත් ප්‍රදේශ වලින්ද මිලදී ගෙන ඇති  බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙතෙන් මිලදී ගත්  මුළු වී තොග අතරින්  සම්බා කිලෝ ග්‍රෑම් 1,196,950 ක් සුදු නාඩු කිලෝ ග්‍රෑම්  1,436,00 ක්  පවතින  බවත් වී අලෙවි මණ්ඩලය මෙතෙක් මිලදී ගත් වැඩිම වී ප්‍රභේද මිලදී ගැනීම මෙය  වන බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලයට අයත් පාවිච්චි කළ නොහැකි තත්වයේ පවතින ගබඩාවන් 38 ක් මේ වෙනුවෙන්ම යුද හමුදාව අලුත්වැඩියා කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.