කාන්තාවන්ට මාස 3න් ලක්ෂ 3ක් ඉපයීමට ව්‍යාපෘතියක්

මාසිකව රුපියල් ලක්‍ෂයකට වැඩි ආදායමක් උපයාගත හැකි ගෘහ ආර්ථික කර්මාන්තයක් ලෙස ඉස්සන් වගාව ප‍්‍රචලිත කිරීමට නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ .

අදාල ව්‍යාපෘතිය පිළිබද කරුණු සදහන් කරමින් ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා කියා සිටියේ “මෙය එක කාන්තාවකට මාස තුනහමාරක් ඇතුළත ඉස්සන් කිලෝ 1250ක අස්වැන්නක් ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක්” බවයි.

තායිලන්තයේදී සිදු කළ අධ්‍යනයකින් මේ සඳහා අවශ්‍ය දැනුම් සහ ඉස්සන් පැටවුන් ලබාගෙන ඇති බවත් කුඩා කර්මාන්ත අමාත්‍යාංශය හරහා මෙම ව්‍යාපෘතියට 50% ක ආධාරයක් ලබා දෙන බවත් ඇමැතිවරයා සදහන් කළේය .

තවද මුදල් අමාත්‍යාංශයෙන් 50%ක ණය මුදලක්ද කාන්තාවන්ට අවශ්‍ය පුහුණුවද ලබා දීමට කටයුතු කරමින් තිබෙන බව සදහන් කළ ඇමැතිවරයා ඒ අනුව මාස තුනහමාරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය හරහා එක් කාන්තාවකට රුපියල් ලක්ෂ 03කට අධික මුදලක් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් කළේය .

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පවුල් සියයක්ද පුත්තලම දිස්ති‍්‍රක්කයේ පවුල් 200ක්ද සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව ඇමැතිවරයා පැවැසීය .

පසුව හඳුනාගත් දිස්ති‍්‍රක්ක 15ක ඉස්සන් වගාව ගෘහ ආර්ථික කර්මාන්තයක් ලෙස ප‍්‍රචලිත කරන බව පැවැසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මෙමගින් ලබාගැනීමට අපේක්‍ෂිත ඉස්සන් අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 400 ක් බව සදහන් කළේය .