ETI මූල්‍ය සමාගම ගැන සොයන්න ජනපති කොමිසමක්

බරපතල මුල්‍ය ගැටළුවලට මුහුණ පෑම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වී සිටින ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර තිබේ .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි (සභාපති), සුහද ගම්ලත් සහ ඩි.එම්. ගුණසේකර යන මහත්වරුන් පත්කර තිබේ .

ETI ෆිනෑන්ස් සමාගම ස්වකීය තැන්පතුකරුවන් ගේ ගනුදෙනු බේරුම්කිරීම සඳහා වත්කම් විකිණීමට හේතුවුවත් මුල්‍ය සමාගමේ සිදුවී ඇතැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා සම්බන්ධයෙන් ඊඒපි බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ් සහ එහි අනුබද්ධ සමාගම, ඊඒපි ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ් සහ එම පාලිත සමාගම්, හෝටල් සැෆර් (පුද්) සමාගම සහ ETI සමාගම සතු නිශ්චල වත්කම් සම්බන්ධයෙන් ද සොයා බැලීමට මෙම ජනාධිපති කොමිසමට බලය පවරා ඇත.

විදේශිකයින් විසින් මාධ්‍ය ආයතනයන්හි අයිතිය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් වලින් සැදුම්ලත් මුල්‍ය ආයතන සමුහයකට විකිණීම සහ විදේශිකයින් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීති කඩකරලමින් ETI ආයතනයේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ද මෙම ජනාධිපති කොමිසම විසින් විමර්ශනය කිරීම සඳහා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් බලය පවරා ඇත