අඩු ආදායම්ලාභී පවුල්වලට රැකියා ලක්ෂයක්

අඩු ආදායම්ලාභී පවුල්වල නිපුණතා රහිත ශ‍්‍රමිකයන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්මේන්තුව නමින් ආයතනයක් ඒ සඳහා ස්ථාපනය කෙරුණි. අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ තොරතුරු පුවත්පත්වල ද පළ කර තිබේ .

ඉතාමත් දිළිඳු මට්ටමේ පසුවන සමෘද්ධි පවුල්වල සාමාජිකයන් සහ සුදුසුකම් පැවතියද සමෘද්ධි සහනාධාරය නොලබන පවුල් නඟාසිටුවීම මෙම රැකියා වැඩපිළිවෙලේ අරමුණ වේ. මාස හයක පුහුණුවකින් පසු ඔවුන් තම ප‍්‍රදේශයේම ස්ථිර රැකියාවක් සඳහා යොමුකිරිමට සැලසුම් කර තිබේ.

කිසිඳු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සඳහා බඳවා ගැනෙන අතර දිවයිනම ආවරණය වන පරිදි පළමු අදියරේදී රැකියා ලක්ෂයක් ලබාදීම අරමුණවේ. ඔවුන් මෙහෙයවීම හා කළමනාකරණය සඳහා උපාධිධාරීන් සහ උසස් අධ්‍යාපනය ලැබූවන්ට ද රැකියා අවස්ථා හිමිකරදෙන බව රජය පවසයි .