කොටස් වෙළඳපොල සඳුදා සිට පැය 2කට විවෘත වෙයි

බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද එදින සිට නැවත ඇරඹීමට කටයුතු යොදා තිබේ.

කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.

ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතය. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5ක් වෙයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි. අවසන් වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූයේ ඉකුත් මාර්තු 20 වනදාය.