INSEE සිමෙන්ති සමාගම සිය නවෝත්පාදන ක්‍රියාවලිය හරහා අනාගත ඉදිකිරීම් කර්මාන්තය සවිබලගන්වයි

දිවයිනේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE Cement Sri Lanka සමාගම, මෑතකාලීනව මෙරට ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම්, වේගවත් වැඩිදියුණු කිරීම් හා දැවැන්ත සොයාගැනීම් සමඟින් සුවිශේෂී පියවර ගණනාවක් ගැනීමට සමත්ව තිබේ.

සෑමවිටම ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය දකිමින් ඒ අනුව සිය ප්‍රමිතීන් සකස් කරගත් INSEE සිමෙන්ති සමාගම, නවෝත්පාදන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. එහිදී ප්‍රමුඛ පෙළේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනයක් වන INSEE Ecocycle මෙන්ම කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට අවශ්‍ය අලුත්ම තාක්ෂණික උපකරණ හා උපාංග නිෂ්පාදනය කරන i2i සහයෝගීතා මධ්‍යස්ථානය වැනි ආයෝජන හරහා ක්ෂේත්‍රය තුළ තවත් එක් සමාගමක් ලෙස පැවතීම වෙනුවට ශ්‍රී ලාංකිකයන්ට වඩා යහපත් වටපිටාවක් සහ සුනම්‍ය අනාගතයක් බිහිකරදීමට INSEE ආයතනය බලාපොරොත්තු වේ.

“අග්නිදිග ආසියාවේ සහ ගෝලීය වශයෙන් සිමෙන්ති හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පෙරටුගාමී රටක් නිර්මාණය කිරීමේ මෙහෙයුමක අප නිරත වී සිටිනවා. එහිදී අපගේ සියලු පාර්ශ්වකරුවන්, රසායනාගාර, ප්‍රමිති ආයතන, පරිසර අධිකාරීන් සහ වෙනත් පිරිස් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අපි කැමතියි. අනාගතයට සුදුසු ලෙස ඉදිකිරීම් කර්මාන්තය හැඩගැස්වීමෙහිලා අපි මේ වනවිටත් විශ්වාසනීය පාර්ශ්වකරුවෙකු බව ඔප්පු කර අවසන්” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ නවෝත්පාදන හා නිෂ්පාදන සංවර්ධන ප්‍රධානී මූසා බාල්බකී පැවසීය.

තාක්ෂණය හා දැනුම තම පාර්ශ්වකරුවන් හා බෙදාගැනීම සිය ආයතනික වගකීමක් ලෙස INSEE සමාගම විශ්වාස කරයි. අඛණ්ඩව ප්‍රමිතිය පවත්වාගෙන යෑම පිළිබඳ නම් දරා ඇති INSEE සමාගම තම සහකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස විසඳුම් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකරයි. එහිදී හුදෙක් නිෂ්පාදනයක් හඳුන්වාදීම වෙනුවට තිරසාර විසඳුමක් සමාජගත කිරීම සමාගමේ අභිලාෂය වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලැබූ දිගු කාලීන ආයෝජන හරහා නිෂ්පාදන ධාරිතාව, සැපයුම් දාමය සහ තම වෙළෙඳපොළ තත්ත්වය වර්ධනය කරගැනීමට INSEE සමාගමට හැකිවී ඇත. මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා සිමෙන්ති නිෂ්පාදන සැපයීමේදී අඛණ්ඩව ගුණාත්මක බව පවත්වාගැනීම හා සැපයුමේ වේගවත් බව තීරණාත්මක සාධක වන අතර ඒ අනුව දිවයින පුරා පාරිභෝගිකයින්ට නිසි සැපයුමක් සිදුකිරීමට සමාගම සමත්ව තිබේ. ඊට අමතරව දිවයින පුරා සිමෙන්ති හා කොන්ක්‍රීට් නිෂ්පාදන බෙදාහැරීම වෙනුවෙන් 800,000කට වැඩි බෙදාහරින්නන් සහ බෙදාහැරීම් ජාල ප්‍රමාණවක් ඇති INSEE මෑතකදී,  අධිවේගී ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (Express Logistic Centre) ද විවෘත කිරීමට පියවර ගත්තේය.

නවෝත්පාදනය තම වත්කමක් ලෙස හඳුනාගෙන ඇති INSEE සමාගම රටටත් ජනතාවටත් යහපත උදාවන ලෙස නිරතුරුව ක්‍රියාකිරීමට කැපවී සිටී. එපමණක් නොව තම කර්මාන්ත සහකරුවන්ට පවා රටට ඵලදායී අයුරින් නවෝත්පාදන සිදුකිරීමට උනන්දු කරවීම INSEE තම වගකීමක් ලෙස සලකයි.

“නවෝත්පාදනය සඳහා විවෘත වටපිටාවක් තිබෙන මෙවන් කාලයකදී කිසිවෙකුට හෝ හුදෙකලාව කටයුතු කළ නොහැකියි. අපි අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිට නිමි නිෂ්පාදන දක්වා පරාසය තුළ නවෝත්පාදන රැසක් හඳුන්වාදී තිබෙනවා. විශේෂයෙන්ම අපේ නිෂ්පාදන පෙළින් 50%කට වඩා ප්‍රමාණයක් වසර පහකට වඩා අඩු කාලසීමාවකදී හඳුන්වාදුන් අලුත් නිෂ්පාදන විසඳුම්. එනිසා අපි අඛණ්ඩව ආයෝජනයටත් නවෝත්පාදනයටත් යොමු වූ සමාගමක් බව පැහැදිලියි. පෑලියගොඩදී අපි විවෘත කළ innovation to industry (i2i) සහයෝගීතා පහසුකම් මධ්‍යස්ථානයෙන් මේ බව වඩාත් හොඳින් පැහැදිලි වෙනවා. එය අපේ වගේම පාර්ශ්වකරුවන්ගේත් හොඳම අදහස් එකතු කිරීමේ වැඩපිළිවෙලක්” බාල්බකී මහතා සඳහන් කළේය.

රට පුරා නවෝත්පාදනය ඉහළ නැංවීමට ඊට සුදුසු පරිසරයක් බිහිකිරීම අත්‍යවශ්‍ය බව INSEE සමාගමේ අදහසයි. එහිදී නිසි පරිසරයක් හා උද්‍යෝගිමත් කණ්ඩායමක් සමඟ ඉදිකිරීම් කර්මාන්තයේ උපරිම විභවතා සොයායාමට INSEE සමාගමට හැකියාව පවතී.

මේ සියලු කාර්යයන් සඳහා හිතකර වටපිටාවක් පැවතීමේ වටිනාකම අවබෝධ කරගෙන සිටින INSEE සමාගම එහිලා දේශීය ඉංජිනේරු පීඨවල දැනුමට විශේෂ තැනක් පිරිනමා ඇත. ලොව ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය විශ්ව විද්‍යාල හා සම මට්ටමේ ගෝලීය වශයෙන් දක්ෂතා දක්වන ඉංජිනේරුවන් බිහිකිරීමට දේශීය ඉංජිනේරු පීඨවලට හැකි වී තිබීම ඊට හේතුවයි.  

වර්තමාන ලෝකය තුළ සියල්ල වේගයෙන් වෙනස්වන පසුබිමක, INSEE සමාගම, තම අලුත්ම i2i පහසුකම් මධ්‍යස්ථානය, ඩිජිටල් තාක්ෂණය සමඟ හැදී වැඩුණු නව පරම්පරාවට සුදුසු ලෙස නිර්මාණය කර ඇත. මෙම මධ්‍යස්ථානය සාම්ප්‍රදායික අධිකාරී ප්‍රවේශය වෙනුවට ප්‍රතිඵල පදනම් කරගත් ප්‍රමිතීන් අනුගමනය කරයි. එනම් එහිදී පුද්ගල ධාරිතා වර්ධනයට ආයෝජනය කිරීම තුළින් ඉදිකිරීම් කර්මාන්තය නවීකරණය කිරීමට සැලසුම් කෙරේ.

“ඉදිකිරීම් කර්මාන්තය අතින් ශ්‍රී ලංකාව තුළ සුබවාදී අනාගතයක් පවතින බව අපේ විශ්වාසයයි. විශේෂයෙන්ම ප්‍රවාහන, ජල සහ යටිතල පහසුකම් ඉදිකිරීම් ක්ෂේත්‍ර හරහා සමාජයට සේවයක් සැලසීමේ විශාල ඉඩක් පවතිනවා. සෑමවිටම සුනම්‍ය ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ධනාත්මක සංවර්ධන ගමනක යෙදී සිටින බව අපේ හැඟීමයි” බාල්බකී මහතා වැඩිදුරටත් පැවසීය.

වගකීම් සහගත ආයතනික පුරවැසියෙක් ලෙස තාක්ෂණය හා නවෝත්පාදනය හරහා අඛණ්ඩව පරිසර හිතකාමී සිමෙන්ති නිෂ්පාදන ප්‍රවර්ධනයට INSEE සමාගම කටයුතු කරයි. තම නිෂ්පාදන පෙළින් 80%ක්ම තිරසාරබවින් යුත් ඉහළ පෙළේ බ්ලෙන්ඩඩ් සිමෙන්ති වන පසුබිමක තම වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම ටොන් 400,000කින් අඩු කරගැනීමට ද INSEE සමාගමට හැකිවී තිබේ. සෑමවිටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව සිය නිෂ්පාදන හඳුන්වාදෙන INSEE සමාගම තවදුරටත් නවෝත්පාදනය වෙනුවෙන් ඇපකැප වී සිටී.