ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ නම ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් වෙයි

යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රමුඛත ම ස්කින් කෙයාර් සන්නාමයක්වන ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමය වෙනස් කිරීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව, කාන්තාවන්ගේ සුන්දරත්වය යන්නට පුළුල් අර්ථයක් ලබා දෙමින් එම සමාගම ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමයෙන් ‘සුදු පැහැය’ යන අර්ථය ලබා දෙන ‘Fair’ යන වචනය ඉදිරියේදී භාවිත නොකිරීමට තීරණය කර ඇති අතර එම නම ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් කිරීමට තීරණය කර ඇත.
පසුගිය වසර ගණනාව පුරා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නිෂ්පාදනයේ දැන්වීම්කරණ කටයුතු කාන්තාව සවිබලගැන්වීමේ පණිවිඩය සන්නිවේදනය කිරීම සඳහා ක්‍රමයෙන් යොමු විය. ඕනෑම අයෙකු සතු ස්වභාවික සමේ පැහැයට නිසි ගරුත්වය ලබා දීම එම නව සන්නාමයේ අරමුණයි. 2019 වසරේදී සම ‘සුදු කිරීම’ වැනි නාමකරණවලින් බැහැරව වෙනස් මගක් ගනිමින් සෞඛ්‍යසම්පන්න සමක ලක්ෂණවන ස්වභාවික වර්ණය, පැහැදිලි බව සහ දීප්තිමත් බව නිරූපණය කරමින් එම සන්නාමයේ සන්නිවේදන කටයුතු සහ ඇසුරුම්කරණය ද ක්‍රමිකව වෙනස් කෙරිණි. එම ගමන්මගේ තවත් පියවරක් ඉදිරියට තබමින් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නාමය ද ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් කෙරේ. තවද, ශ්‍රී ලාංකේය අනන්‍යතාව විදහාපාමින් අපගේ දේශයේ කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණයවන පරිදි ඉදිරි දැන්වීම්කරණ කටයුතු සිදු කිරීමට ද එම සමාගම තීරණය කර ඇත.
“මෙරට කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණය කිරීමට අපගේ ස්කින් කෙයාර් නිෂ්පාදන පෙළ නැවුම් දැක්මකින් යුතුව වෙළඳපොළට නිකුත් කිරීමට අප තීරණය කර තිබෙනවා. සමේ ස්වභාවික දීප්තිය සහ නිකැළැල් බව ආදී සෞඛ්‍යසම්පන්න සමක තිබිය යුතු ගුණාංග පාරිභෝගිකයන්ට ලබා දීමට අප බැඳී සිටිනවා. අප අපගේ සන්නිවේදන කටයුතු වෙනස් කිරීමට තීරණය කළේ එම දැක්මට සරිලන ලෙසයි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ ඇති ‘ෆෙයාර්’ වචනය ඉදිරියේදී ඉවත් කෙරෙන අතර නව ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ නාමයෙන් යුතු ඇසුරුම් වෙළඳපොළේ ඉදිරියේදී දැකගත හැකි වනු ඇත,” යනුවෙන් යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ සභාපතිනී සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆීෆි-ලාඩෙල් මහත්මිය සඳහන් කළාය.
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි යනු පාරිභෝගික අවශ්‍යතාව මත නවීන තාක්ෂණයත්, සමට අවශ්‍ය නිසි පෝෂණ සත්කාරයත් කැටිකොට සමේ දුර්වර්ණ වීම අවම කර සමේ ස්වභාවිකත්වයට හානි කරන බාහිර සාධකවලින් සම ආරක්ෂා කරන නිෂ්පාදනයකි. එමෙන්ම ඕනෑම කාන්තාවකට සමට අවශ්‍ය පෝෂණ සත්කාරය දැරිය හැකි මිලකට ලබා දීමට ද යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගම කටයුතු කරයි. එහි අඩංගු විටමින් B3, B6, C සහ E මෙන්ම ඇලන්ටොයින් මගින් සමේ පැහැදිලි බව වැඩි කරමින් සමස්තයක් ලෙස සමේ දිදුලන බව වැඩි කරයි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි යනු කිසිඳු ‘බ්ලීචිං’ කාරකයක් අඩංගු නොවන නිෂ්පාදනයක් නිසා සමට කිසිඳු හානියක් සිදු නොවේ.
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ සිදු කරන ලද වෙනස්කම් වලට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ අනෙකුත් ස්කින් කෙයාර් නිෂ්පාදන ද මෙම ධනාත්මක චින්තනය පදනම් කර ගනිමින් සුන්දරත්වය දෙස පුළුල් දැක්මකින් බැලීමට පොළඹවන නව මුහුණුවරකින් හඳුන්වා දීමට එම සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇත.
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පදනම පිළිබඳ තවත් තොරතුරු
කාන්තාවන් වෙනුවෙන් ආර්ථික සහ සමාජයීය අවස්ථා වැඩිදියුණු කිරීම
කාන්තාව සවිබල ගැන්වීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය සහ උසස් ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනය අතිශය වැදගත් වන බව ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පදනමේ චින්තනයයි. කාන්තාවන් පිළිබඳ පවතින සමාජ සම්මතයන්, නිවසින් බැහැරව අධ්‍යාපනය ලබා ගැනීමේදී ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටළු හෝ ගෘහාශ්‍රිත වගකීම් ඇතුළු කාන්තාවන්ගේ ප්‍රගමනයට බාධා පමුණුවන සමාජ-සංස්කෘතික, යටිතලපහසුකම් හෝ ආර්ථිකමය බාධක සඳහා විසඳුමක් ලෙස ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පදනම ස්ථාපනය කෙරිණි.
බලපෑම:
2019 ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද මෙම පදනම www.fairandlovelyfoundation.lk යන ජංගම වෘත්තීය සහ අධ්‍යාපනික පදනමකින් ද සමන්විතය. ශ්‍රී ලංකාව පුරා කාන්තාවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා නොමිලේ පිරිනැමෙන e-learning පදනමක්වන මෙය, මාර්ගෝපදේශ මෙන්ම කාන්තාවන්ගේ කුසලතා අනුව සැකසූ පාඨමාලා ද ඊට ඇතුළත් වේ. Harvard University (හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ) සහ MIT ආයතනයේ edX.org, තොරතුරු තාක්ෂණ කුසලතා පුහුණු ආයතනයක්වන NIIT Limited සහ ඉංග්‍රීසි භාෂා පුහුණු විශේෂඥ English Edge ආයතනය වැනි ප්‍රමිතියෙන් උසස් කීර්තිමත් ඩිජිටල් අධ්‍යාපනික හවුල්කරුවන් හරහා මෙම පාඨමාලා තෝරා ගැනේ.
මේවන විට 6,000 කට ආසන්න කාන්තාවන් පිරිසක් කුසලතා සහ පුහුණු වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින අතර CV 230 කට අධික ප්‍රමාණයක් වෘත්තීය මට්ටමට ගෙන ඒම සඳහා යොමු කර ඇත. තවද, මෙම පදනම හරහා 1,400 කට අධික වෘත්තීය මාර්ගෝපදේශන පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇති අතර එමගින් පාඨමාලා සඳහා ඇතුලත්වීම් ප්‍රමාණය 7,600 කි.
ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමය යළි සන්නාමගත කිරීමට සමගාමීව ෆෙයාර් ඇන්ඩ් ලව්ලි පදනමට ද නව නාමයක් හඳුන්වා දීමට යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගම කටයුතු කරයි.