කම්කරු දෙපාර්තමේන්තුව පළමුව ඵලදායිතාව ඉගෙන ගත යුතුයි – කම්කරු ඇමති

රටටම ඵලදායිතාව උගන්වමින් ,කාර්යාල කළමනාකරණය ගැන උපදෙස් දෙන කම්කරු දෙපාර්තමේන්තුව පළමුව ඵලදායිතාව පිළිබද ඉගෙන ගෙන ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කර රටට ආදර්ශයක් දිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

පැමිණෙන මහජනයාට සහ රාජකාරි කරන නිලධාරින්ට යහපත් සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් ලබාදීම කම්කරු අයිතියක් වුවත්, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ බොහෝ අංශවල ⁣එම යහපත් සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් නොමැතිවීම බරපතල කාරණයක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගියදා (09) ⁣පෙරවරුවේ හදිසියේම කම්කරු මහලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

මහල් දහයකින් සමන්විත ⁣කම්කරු මහලේකම් කාර්යාලයේ සෑම මහලකටම යමින් ඇමතිවරයා එහි තත්වයන් නිරීක්ෂණය කරමින් සේවකයන්⁣ ගෙන් සහ පැමිණ සිටි මහජනයා ගෙන් සිය ගැටළු පිළිබඳ විමසීම් කළේය. මෙහි බෙහෝ කාර්යාලවල වතුර කාන්දු වන අන්දම සේවකයන් පෙන්වා දුන්නේය. දූවිලි ගහන ලිපි ගොනු හා ජලය කාන්දු වන අන්දමට සේවකයන් ඉක්මනින් රෝගාතුර විය හැකි හෙයින් ඉතා කඩිනමින් එම කාර්යාල එම ගොඩනැගිල්ලේම සුදුසු තැන්වල ස්ථානගත කරන ලෙස ඇමතිවරයා මෙහි දි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව බහුලව දිය කාන්දුවන උතුරු කොළඹ කම්කරු කාර්යාලය වඩා ඉඩපහසු ඇති පහල මහලකට ඉතා ඉක්මනින් ගෙන යන ලෙස ඇමතිවරයා උපදෙස් දුන්නේය.එසේම ලිපිගොනු අනාරක්ෂිතව තැන තැන දමා ඇති අන්දම නිරීක්ෂණය කළ ඇමතිවරයා ඒ පිළිබද සිය අප්‍රසාදය පළ කළේය.ගොඩනැගිල්ලේ හදිසි අනතුරු පිටවීමේ දොරටු අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා අවහිරකර තිබූ අන්දම මෙහි දි අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා පෙන්වා දුන්නේය.ගොඩනැගිල්ලේ තැන තැන ගොඩ ගසා ඇති අබිලි ද්‍රව්‍ය ලබන සිකුරාදා වන විට එම ස්ථානවලින් ඉවත් කළ යුතු බවත්,ඒ පිළිබද සොයා බැලීමට තමන් ලබන සඳුදා (14) නැවත පැමිණෙන බව ඇමතිවරයා පැවසීය.

විධායක හා මාංඩලික සේවයේ නිලධාරින්ගේ කාර්යාල පරිශ්‍ර පවා පිරිසිදුව හා ප්‍රසන්නව තබා නොගැනීම පිළිබදව අමාත්‍යවරයා මෙහි දි විවෘතවම එම නිලධාරින්ට සිය අප්‍රසාදය පළ කළේය.
පවතින තත්වය තුළ ප්‍රධාන කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කරන කම්කරු නිලධාරි සහ අනෙක් නිලධාරින් වෙනත් ස්ථානවලට මාරු කර කොළඹ කාර්යාලයට අනෙක් නිලධාරින්ට ද පැමිණීමට හැකි වන පරිදි සේවා ස්ථාන ප්‍රතිශෝධන වැඩ සටහනක් සකස් කරන ලෙස ද ඇමතිවරයා මෙහි දි උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරි ද එක් විය.