INSEE සිමෙන්ති සමාගම, තිරසාර පාරිසරික ඉදිකිරීම් අන්තර්ජාතික සම්මන්ත්‍රණයට ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි

පේරාදෙණිය, මොරටුව, රුහුණ සහ නාවල විවෘත විශ්වවිද්‍යාලවල ඉංජිනේරු ශිෂ්‍ය සංගම් එක්ව සංවිධානය කළ 11 වැනි  තිරසාර පාරිසරික ඉදිකිරීම් අන්තර්ජාතික සම්මන්ත්‍රණයට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට, මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම පසුගියදා පියවර ගත්තේය.

‘මහනුවර සමුළුව’ ලෙස නම් කර තිබූ මෙවර සම්මන්ත්‍රණය පුරා දින දෙකක් ඩිජිටල් මාධ්‍යය ඔස්සේ පැවැත්වුණි. නව අදහස්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට එය කදිම වේදිකාවක් බවට පත්විය. ගෝලීය වශයෙන් පාරිසරික ඉදිකිරීම් කළමනාකරණයේ නියුතු, විශ්වවිද්‍යාල ඇදුරන්, වෘත්තිකයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ට දැනුම බෙදා දීමට මෙම සමුළුව මහෝපකාරී විය.

මෙය 2010 වසරේ දෙසැම්බර් මාසයේ සිට වාර්ෂිකව සංවිධානය වන සම්මන්ත්‍රණයකි. ‘අනාගත සංවර්ධනය වෙනුවෙන් නවෝත්පාදන පර්යේෂණ මෙහෙයවීම’ මැයෙන් මෙවර සංවිධානය වුණු සමුළුවට, දෙස් විදෙස් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන රැසක් සහභාගි විය. එහිදී තිරසාර පාරිසරික ඉදිකිරීම් පිළිබඳ වර්තමාන සංකල්ප හා ප්‍රායෝගික අදහස් විශේෂ අදියර කිහිපයක් යටතේ සාකච්ඡාවට ලක්විය. සමස්තයක් ලෙස 2,500කට වැඩි විශ්වවිද්‍යාල ඇදුරන්, පර්යේෂකයින්, ඉංජිනේරුවන්, කර්මාන්ත අංශ වෘත්තිකයින් හා සිසුන් සහභාගී වූ මෙම සමුළුවට ආරාධිත දේශන හයක්, විශේෂ වැඩසටහන් වාර 13ක් සහ සජීවී සංවාද මණ්ඩප දෙකක් ඇතුළත් විය.

“මෙම සමුළුව සංවිධානය කිරීමේ අරමුණ වන්නේ තිරසාර පාරිසරික ඉදිකිරීම් පිළිබඳ වර්තමානයේදී අපට අදාළවන සහ වැදගත්වන දැනුම හුවමාරු කරගැනීමයි. විශේෂයෙන් ම කොවිඩ් වංසගත තත්ත්වය තුළ තිරසාර පාරිසරික ඉදිකිරීම්වල වැදගත්කම තවත් වර්ධනය වෙලා තිබෙනවා. එවන් පසුබිමක බොහෝ විශේෂඥයින්ට තම දැනුම හා නවෝත්පාදන එකිනෙකා සමඟ හුවමාරු කරගැනීමටත්, බොහෝ පර්යේෂකයින්ට තම පර්යේෂණ පත්‍රිකා සහ නවතම සොයාගැනීම් ඉදිරිපත් කිරීමටත් මෙය වටිනා අවස්ථාවක්”, යනුවෙන් මෙම සමුළුවේ සම සභාපති මහාචාර්ය රංජිත් දිසානායක මහතා පැවසීය.

මේ අතර සමුළුවට සහභාගී වූවන්ට විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, සමෘද්ධිමත් රටක් බිහිකිරීම වෙනුවෙන් යන ගමන්මඟ අතරතුරදී තිරසාර පාරිසරික ඉදිකිරීම් කෙරෙහි ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරන බව ය.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති හා අධ්‍යක්ෂ -විකුණුම්, අලෙවි හා නවෝත්පාදන යාන් කුනික් මහතා පැවසුවේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය සෑමවිට ම මානව සංවර්ධනයේ මූලික අංගයක් වූ බව ය. “එය මානව ඉතිහාසය තුළ අඛණ්ඩව දක්නට ලැබුණු කර්මාන්තයක්. විශේෂයෙන් ම ජනගහන වර්ධනය හා ශීඝ්‍ර නාගරීකරණය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයත් ක්‍රමානුකූලව නවීනත්වයට ගැලපෙමින් වර්ධනය වුණා”, ඔහු විස්තර කළේය. ඉදිකිරීම් කර්මාන්තය යනු සම්පත් අධික ලෙස අවශ්‍ය වන කර්මාන්තයක් බව සිහිපත් කළ කුනික් මහතා, එනිසා ම පාරිභෝගිකයින්ගේ සහ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන ඉදිකිරීම් විසඳුම් සැපයීමේදී INSEE සිමෙන්ති සමාගම නවෝත්පාදන සිදුකරමින් තිරසාර ක්‍රමෝපායන් භාවිත කිරීමට නැඹුරු වී ඇති බව ය.  

“ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන ලෝක ප්‍රවණතා පහක් අපි මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. එම ප්‍රවණතා ඉදිකිරීම් කර්මාන්තයට වගේම තිරසාර ඉදිකිරීම් විසඳුම් පිරිනැමීමේ හා නිර්මාණය කිරීමේ අපගේ ප්‍රවේශයටත් එක සේ බලපානවා. ඊට සමගාමීව සිමෙන්ති සහ කොන්ක්‍රීට් සඳහා දැවැන්ත ඉල්ලුමක් ගෝලීය වශයෙන් නිර්මාණය වෙමින් පවතිනවා. අවාසනාවකට එය අපගේ ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිත කළ හැකි මට්ටම ඉක්මවා යන දැවැන්ත ඉල්ලුමක්”, කුනික් මහතා වැඩිදුරටත් පැවසීය.

එම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අංශයේ ප්‍රමුඛයා ලෙස INSEE සිමෙන්ති සමාගමේ භූමිකාව පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, වගකිව යුතු ආයතනික පුරවැසියෙක් ලෙස දේශගුණික විපර්යාස ජයගැනීමේ අරමුණ උදෙසා අඛණ්ඩව ක්‍රියාකිරීමට තම සමාගම කැපවී සිටින බව ය. එහිදී කාබන් විමෝචන ශූන්‍යත්වය ළඟාකරගත් කර්මාන්තයක් බවට, ඉදිකිරීම් කර්මාන්තය අනාගතයේදී පරිවර්තනය කිරීම ද INSEE සිමෙන්ති සමාගමේ ඉලක්කයක් බව ඔහු පෙන්වා දුන්නේය.

අනාගතයේදී ශක්තිමත්, දියුණු හා තිරසාර ආර්ථිකයක් ගොඩනැඟීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි පණිවුඩයක් සැපයීම වෙනුවෙන් අපගේ භූමිකාව නිසි ලෙස ඉටු කරමින් යම් මාර්ගෝපදේශනයක් ලබාදිය යුතුයි. එක් පාර්ශ්වයකට පමණක් මෙම අභියෝගය තනිව ජයගත නොහැකියි. එනිසා අපි එක්ව කටයුතු කළ යුතුයි. එම අරමුණ කරා සාමූහිකව ගමන් ගැනීමේදී මෙම සමුළුවත් වැදගත් සන්ධිස්ථානයක් බව මට විශ්වාසයි”, ඔහු වැඩිදුරටත් පැවසීය.