ෆොන්ටෙරා වෙතින් කිරිවල තත්ත්වය සුරැකීමට පෙරළිකාරී නව තාක්ෂණයන් 3 ක් හඳුන්වා දෙයි

කිරි එකතු කිරීම සහ, එම කිරිවල තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ශීතකරණ පහසුකම් පවත්වා ගැනීම, කිරි කර්මාන්තයේ සැපයුම් දාමයේ වඩාත්ම අභියෝගකාරී පැතිමානයන් දෙකක් ලෙස සැලකේ.

මෙම අභියෝග සැලකිල්ලට ගනිමින්, කිරිවල තත්ත්වය උසස්ම මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුවිශේෂී තාක්ෂණයන් 3 ක් හඳුන්වා දීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන ඇත. කිරිවල තත්ත්වය ක්ෂණිකව ආරක්ෂා කරන නව ‘Rapid Chilling’ තාක්ෂණයක්, ගොවීන් විසින් සපයනු ලබන කිරි උසස්ම තත්ත්වයේ පවතින බව තහවුරු කරගැනීම සඳහා භාවිතා කළ හැකි ‘Milk Fingerprinting’ තාක්ෂණය සහ ගොවිපළ වලින් කිරි ලබාගන්නා අවස්ථාවේ සිට වෙළඳපොළට නිකුත් කරනු ලබන නිෂ්පාදන දක්වා, ෆොන්ටෙරා නිෂ්පාදනවල ගමන්මග පූර්ණ වශයෙන් පරීක්ෂා කළ හැකි ‘Traceability’ පද්ධති ක්‍රමවේදය ද මීට ඇතුළත් වේ.

කිරි එකතු කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ කිරි දෙවීමේ සිට කිරි ශීත කිරීම දක්වා ගතවන කාලයයි. මීට විසඳුමක් වශයෙන්, කිරිවල තත්ත්වය පහළ යාමේ අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්ෂණිකව කිරි ශීත කිරීමේ (Rapid Chilling) නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ෆොන්ටෙරා කටයුතු කළේ ය. මෙමගින් තත්පර කිහිපයක් තුළ ක්ෂණිකව සෙල්සියස් අංශක 4 දක්වා කිරි ශීත කෙරේ. මෙම තාක්ෂණය, කිරි සපයන ගොවීන් සිටින ප්‍රදේශ වල ස්ථාපිත කිරීම මගින් කිරි වඩාත් ඉක්මනින් හා සුරක්ෂිත ලෙස ශීත කළ හැක.

කිරිවල තත්ත්වය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලින් ඉටුවන්නේ ඉතාමත් වැදගත් කාර්යභාරයකි. ශ්‍රී ලංකාවට ‘Milk Fingerprinting’ තාක්ෂණය හඳුන්වා දුන් ෆොන්ටෙරා සමාගම මේ වනවිට තම සියලුම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වල එම තාක්ෂණය භාවිතා කරයි. මෙම තාක්ෂණය මගින්, සමාගම වෙත සපයනු ලබන කිරිවල තත්ත්වය හා ප්‍රමිතිය නිවැරදි මට්ටමේ පවතින බව තහවුරු කරගත හැක. ලොව මෙම වර්ගයේ දියුණුතම තාක්ෂණයන්ගෙන් එකක් වන ‘Milk Fingerprinting’ තාක්ෂණය ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන වඩාත්ම දැඩි කිරි පරීක්ෂණ ක්‍රියාවලිය ලෙස සැලකේ.

කිරිවල තත්ත්වය උසස්ම මට්ටමින් පැවතීමට අමතරව, තම නිෂ්පාදන සඳහා භාවිතා කරන කිරි, ඒවායේ මූලාශ්‍රය දක්වාම ඉක්මණින් හඳුනාගැනීමට හැකියාව තිබිය යුතු බව ෆොන්ටෙරා සමාගම විශ්වාස කරයි (traceablity). මෙම විශ්වාසය මත පදනම් වෙමින් 2019 වසරේදී ජාත්‍යන්තර තලයේ ඉලෙක්ට්‍රොනික ‘Traceability’ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සමාගම කටයුතු කළේ ය. මෙමගින් ඇන්කර් සහ ඇන්කර් නිව්ඩේල් නිෂ්පාදන සඳහා භාවිතා කෙරෙන කිරි, ඒවා සැපයූ ගොවීන් දක්වාම නැවත කර බැලීමේ හැකියාව 100% ලැබී ඇත. එමෙන්ම මෙම තාක්ෂණය නිසා, ගොවීන් සමග එක්ව කටයුතු කරමින් කිරිවල තත්ත්වය තවදුරටත් උසස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ෆොන්ටෙරා සමාගමේ ගොවිපොළ සහය සේවා කණ්ඩායම් වලට අවස්ථාව ලැබී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය මෙසේ පැවසුවා ය. “මෙවැනි උසස් සැපයුම් දාම තාක්ෂණයන් භාවිතා කිරීම මගින්, අපගේ ගොවීන් වෙතින් අපට උසස්ම තත්ත්වයේ කිරි ලැබෙන බව තහවුරු කරගැනීමට වගේම, එම කිරි වලින් උසස්ම තත්ත්වයේ කිරි නිෂ්පාදන නිපදවා පාරිභෝගිකයන් අතට පත්කිරීමටත් අපට හැකියාව ලැබෙනවා. අපගේ මෙම උත්සාහයන් මෙන්ම ගොවිබිමේ සිට කර්මාන්ත ශාලාව දක්වා සියලු ක්‍රියාවලීන් වාර්ෂිකව නවසීලන්තයේ කිරි තත්ත්ව සහතිකකරණ කණ්ඩායම් වල ආහාර සුරක්ෂිතතා සහ තත්ත්ව විගණන පරීක්ෂාවන්ට ලක්වන අතර, එහි අරමුණ වන්නේ අප සෑම විටම ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව කටයුතු කරන බව තහවුරු කරගැනීමයි.”