ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2020 සිව්වන කාර්තුවේ මෙහෙයුම් ලාභය 27% කින් ඉහළට, ආදායම රු. බිලියන 24 ක්

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමූහය, බදු පසු ලාභයේ 25% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් අත්කර ගනිමින් 2020 මුල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කිරීමට සමත්ව සිටී. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද රු. බිලියන 7.9 ක් වන එම වර්ධනය ළඟාකර ගැනීමට හැකි වීම කැපී පෙනේ.

ගතවූ මුල්‍ය වර්ෂය තුළ සමූහයේ ආදායම රු. බිලියන 91.1 ක් දක්වා වර්ධනය වූ අතර එය 6% ක වසරින් වසර වර්ධනයකි. ෆයිබර් සබඳතා ජාලය පුළුල් කිරීම සඳහා දියත් කරනලද කඩිනම් වැඩපිළිවෙල සහ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අංශයේ ඇති වූ වර්ධනය හේතුවෙන් ඉහළ නැංවුණු බ්‍රෝඩ්බෑන්ඩ් ආදායමේ වර්ධනය සමූහයේ සමස්ත ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. PEO TV සහ ධාරක සේවා (Carrier Services) ආදායම ද ගතවූ මුල්‍ය වර්ෂය තුළ වර්ධනය විය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ පොළී ගෙවුම්, බදු ගෙවුම්, ක්ෂයවීම්, ක‍්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) ද 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 34.7 ක, එනම් 16% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුගිය වසරේ 35% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය ද මේ වසරේදී 38% ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහය විසින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක පිරිවැය කළමනාකරණ ක්‍රමවේද එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන ලදි.

2020 සිව්වන කාර්තුව තුළ සමූහය රු. බිලියන 24.0 ක ආදායමක්, එනම් 4% ක කාර්තුවෙන් කාර්තුව වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ අතර එය 2020 මුල්‍ය වර්ෂයේ කාර්තුවක් තුළ අත්කර ගත් ඉහල ම ආදායම ද වෙයි. කාර්තුව තුළ මෙහෙයුම් ලාභය පසුගිය වසරේ එම කාර්තුව සමග සැසඳීමේදී 27% කින් වර්ධනය වූ අතර එම අගය රු. බිලියන 1.9 ක් ලෙස සටහන් විය. එය 2020 තුන්වන කාර්තුව සමග සැසඳීමේදී 33% ක අඩු වීමකි. කාර්තුව තුළ බදු පසු ලාභය රු. බිලියන 1.1 ක් ලෙස වාර්තා වූ අතර එය 48% ක කාර්තුවෙන් කාර්තුව අඩු වීමකි. ඉහල මෙහෙයුම් පිරිවැය සහ විදේශ විනිමය තුළ සිදු වූ විචලනවල අහිතකර බලපෑම එම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජංගම සබඳතා අංශයවන මොබිටෙල් සමාගම ද 2020 වසර පුරා පැවති දැවැන්ත අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ වුව ද සිය ආදායම වර්ධනය කර ගැනීමට සමත් විය. මොබිටෙල් සමාගම 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 4.9 ක බදු පසු ලාභයක් අත්කර ගත් අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි. එම අගය මොබිටෙල් සමාගම මෙතෙක් අත්කරගෙන ඇති ඉහල ම බදු පසු ලාභය වීම ද විශේෂත්වයකි. ආදායම් වර්ධනයට සමගාමීව මෙහෙයුම් වියදම් අවම කර ගැනීමට ද සමත්වීම හේතුවෙන් එම සමාගමට ශක්තිමත් ලාභදායී වර්ධනයක් අත්කර ගැනීමට හැකි විය. 2020 මුල්‍ය වර්ෂය සඳහා මොබිටෙල් සමාගමේ ආදායම රු. බිලියන 43.2 ක් ලෙස සටහන් වූ අතර එය 2019 මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 8% ක වර්ධනයකි. ආදායම් වර්ධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මත සියලු ප්‍රධාන ලාභදායී දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට මොබිටෙල් සමාගමට හැකි වී ඇත. එම සමාගම රු. බිලියන 3.1 ක EBITDA වර්ධනයක් හිමිකර ගැනීමට ද සමත් වී ඇති අතර එය 23% ක වසරින් වසර වර්ධනයකි. පොළී ගෙවුම්, බදු ගෙවුම්, ආදියට පෙර ලාභය (EBIT) ද 2020 මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 2.6 ක් කින් ඉහළ ගිය අතර එය 2019 මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී 50% ක වර්ධනයකි.

2020 මුල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ශ්‍රී ලංකා රජයට ගෙවන ලද සමස්ත සෘජු සහ වක්‍ර බදු අගය රු. බිලියන 17.1 කි.

“COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ අනපේක්ෂිත අභියෝග මධ්‍යයේ වුව ද සමස්ත රටටත්, ප්‍රජාවටත් අත්‍යවශ්‍ය විදුලි සංදේශන සේවා පිරිනැමීම තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය අත්කර ගත් සාර්ථකත්වයත් නොසැලී ඉදිරියට ගමන් කිරීමේ හැකියාවත් 2020 මුල්‍ය ප්‍රතිඵල මගින් යළිත් වරක් තහවුරු වී තිබෙනවා. අභියෝගාත්මක කාලයක සමස්ත දේශයට ම නොබිඳුණු සේවාවක් ලබාදීම සඳහා කැපවන අපගේ සියලු ම ඉදිරිපෙළ සහ අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන් හට මාගේ කෘතඥතාව පිරිනැමීමට කැමතියි. ශ්‍රී ලංකා රජය ද අප හට ලබා දුන් ශක්තිමත් සහයෝගය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කරන අතරම, විවිධ වැඩසටහන් හරහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ජාතික ඩිජිටල්කරන වැඩපිළිවෙල සමග අප සමීපව කටයුතු කරනවා. 2021 වසරේදී අපගේ සේවා ප්‍රමිතිය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, අපගේ පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් ශක්තිමත් ක්‍රමෝපායක් දියත් කිරීමටත් අප අපේක්ෂා කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ද මෙම විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ සිය අදහස් පළ කළේය. “ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් අප 2021 වසර ආරම්භ කළේ SLT-MOBITEL සන්නාම ඒකාබද්ධ කිරීමත් සමගයි. SLT සහ මොබිටෙල් බලවේග එක්වීමත් සමග එම සන්නාමවල සුවිශේෂී හැකියාවන් ඒකාබද්ධ කර අපගේ වෙළෙඳපොළ හිමිකාරිත්වය සහ විශ්වසනීයත්වය වර්ධනය කර ගැනීමට හැකි වනවා. 2021 වසරේ මැද භාගයේදී අප 3.5 GHz භාවිත කරමින් පූර්ව-වාණිජ 5G සේවාව හඳුන්වා දීමට ද අපේක්ෂා කරනවා. තවද, සමූහය තුළ නවෝත්පාදනය වේගවත් කිරීම සඳහා අප පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබෙනවා.”

ශ්‍රී ලංකා ටෙලිකොම් පරිපාලක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශන සේවා සම්පාදකයා ලෙස අප අපගේ ජාලය ග්‍රාමීය ප්‍රදේශ දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවී සිටිනවා. එමගින්, ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳගනිමින් ඩිජිටල් තාක්ෂණය සම්බන්ධව නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇති පරතරය අවම කිරීම අපගේ අරමුණයි. COVID-19 වසංගත කාලය තුළ ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සහනදායී අධ්‍යාපන පැකේජ සහ නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් නොබිඳුණු සබඳතාවක් අඛණ්ඩව පිරිනැමීමට කටයුතු කළා. ව්‍යාපාරික සහ ප්‍රජා අවශ්‍යතා සපුරාලමින් අප විසින් පාරිභෝගික සේවා සඳහා විවිධ ඩිජිටල් ක්‍රමවේද, ස්මාර්ට් නිවාස විසඳුම් සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳ අවකාශ හඳුන්වා දීමට ද අපට හැකි වුනා. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස SLT-MOBITEL ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින් ‘Park & Ride’ නාගරික බස්රථ සේවාව හඳුන්වා දීමටත් අවශ්‍යතා සහිත ප්‍රජාවට වියළි ආහාර ලබාදීම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් දියත් කිරීමටත් කටයුතු කළා. මේවන විට අප ලෝකයට සම්බන්ධවන සබ්මැරින් කේබල් පහට අමතරව, ඉදිරියේදී එන SEA-ME-WE 6 සබ්මැරින් කේබල් පද්ධතිය සඳහා ද 2021 වසරේදී අප ආයෝජනය කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ආඩම්බරයෙන් සඳහන් කිරීමට කැමතියි,” යනුවෙනි.

මොබිටෙල් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සඳහන් කළේ, “2021 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේ ම ආර්ථිකයන් අනපේක්ෂිත අභියෝග හමුවේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන් නමුත් එම අභියෝග ජය ගනිමින් මොබිටෙල් සමාගම 27 වසරක ඉතිහාසයේ ඉහල ම ලාභය අත්කර ගනිමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ රජයේ දැක්ම අනුව යමින් මොබිටෙල් සමාගම මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සබඳතා විසඳුම් දියත් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දුන්නා. වසරක් තුළ මෙරට සියලු ම මට්ටම්වල ප්‍රජාවට තාක්ෂණයේ වැදගත්කම දැඩි ලෙස දැනීමට පටන් ගැනීමත් සමග අපගේ විශිෂ්ට තාක්ෂණික විසඳුම් සියලු ම ශ්‍රී ලාංකිකයන් වෙත ළඟා කරවීම අපගේ ප්‍රමුඛ කාර්යභාරයක් බවට අප පත්කර ගත්තා.”