CBL සමපෝෂ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන දෙකක් දිනාගනියි

මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ දේශීය සමාගමක් වන සිලෝන් බිස්කට්ස් සමාගමේ ප්‍රමුඛතම සන්නාමයක් වන CBL ‘සමපෝෂ‘, පසුගියදා පැවැති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදි විශිෂ්ටතා සම්මාන දෙකක් දිනාගැනීමට සමත්විය. එනම්, ‘වසරේ දේශීය සන්නාමය‘ යන කාණ්ඩයේ රිදී සම්මානයත්, ‘වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය‘ කාණ්ඩයේ ලෝකඩ සම්මානයත් සමපෝෂ වෙත හිමිවිය.

මෙවර 19වන වරට සංවිධානය කෙරුණු, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල යනු විශිෂ්ට අලෙවිකරණ හැකියාවන් උදෙසා ජාතික මට්ටමේ සම්මාන පිරිනමන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මාන ප්‍රදානෝත්සවයකි. සන්නාමකරණයේ ඇති යහපත් භාවිතාවන් ප්‍රචලිත කිරීමට අමතරව, දේශීය සන්නාම ගෝලීය ප්‍රමිතීන් කරා ඔසවා තැබීම ද මෙම සම්මාන උළෙලේ අරමුණකි.

සියයට සියයක් ම දේශීය සන්නාමයක් වන CBL සමපෝෂ, දේශීය ගොවි ජනතාවගේ හොඳම නිෂ්පාදන සිය අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් නිෂ්පාදනය කෙරේ. තව ද සමපෝෂ සන්නාමය, ආයතනික සමාජ සත්කාර අංශයෙන් ද දැවැන්ත මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර, පාරිභෝගිකයින්ට මෙන්ම තමන් හා බැඳී සිටින ගොවි ප්‍රජාව වෙත ද ඒ හරහා ප්‍රතිලාභ සලසා දීමට කටයුතු කර තිබේ.

සමපෝෂ සතුව 12,000කට වැඩි ග්‍රාමීය ගොවි පවුල් ජාලයක් පවතී. CBL සමාගම ලබාදෙන සහතික මිල හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත වීමත්, ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය හා අවසාන වශයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වීමත්, සමපෝෂ නිෂ්පාදන ක්‍රියාවලියේ තවත් විශේෂත්වයකි.

මීට වසර දෙකකට පෙර “Breakfast එක හරි වැදගත්“ යන තේමාව ඔස්සේ ආරම්භ කළ, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ ‘සමපෝෂ දිනන දරුවෝ’ ජාතික මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් හා මිලියන 3කට අධික පාරිභෝගික ජනතාව සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් අප රටට දායාද කිරීම සඳහා ගත් උත්සාහය සැමගේ ගෞරවාදරයට පත්විණි.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවසුවේ, දේශීය සමාගමක් ලෙස දේශීය ප්‍රජාව හා බද්ධ වී කටයුතු කිරීමෙහිලා සමපෝෂ සන්නාමයේ කැපවීම මෙම සම්මාන හරහා මැනවින් පිළිබිඹු වන බව ය. “සමපෝෂ කියන්නේ දෙමාපියන් අතර වගේ ම දරුවන් අතරත් ඉතාමත් ජනප්‍රිය නිෂ්පාදනයක්. විශේෂයෙන් ම අපේ රටේ ළමා පරපුරේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට සමපෝෂ මගින් ලැබෙන සහාය අති විශාලයි. ඒ වගේ ම සමපෝෂ නිෂ්පාදනය කිරීමට ලබාගන්නා, ඉරිඟු, සහල්, මුං, සෝයා වැනි ධාන්‍ය වර්ග සියයට සියයක් ම සපයාගන්නේ දේශීය ගොවීන්ගෙන්. ඒ හරහා ඔවුන්ගේ ආර්ථිකයත් දියුණු වෙනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.