ඇසට්ලයින් ලීසිං නවතම ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි

ප්‍රාදේශීය ශාඛා ජාලය තව දුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් වන ඇසට්ලයින් ලීසිං පසුගියදා එහි නවතම ශාඛාව අම්බලන්ගොඩදී විවෘත කළේය. ලංකාව පුරා විසිරී ඇති ඇසට්ලයින් ලීසිං ජාලයේ සාඩම්බර 53 වෙනි සාමාජිකයා ලෙස අංක 24, ගාළු පාර, ඌරවත්ත, අම්බලන්ගොඩ යන ලිපිනයේ පිහිටි නව ශාඛාව පාරිභෝගිකයින් අතරට එක් විය.

වාහන ලීසිං, වාහන ණය, ව්‍යාපාරික ණය ඇතුළු සියලුම ආකාරයේ ලීසිං සහ මූල්‍ය සේවා සමග ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලන්නට ඇසට්ලයින් ලීසිං අම්බලන්ගොඩ ශාඛාව සැදී පැහැදී සිටී. පාරිභෝගිකයන්ගේ පහසුව තව දුරටත් තහවුරු කරමින් ඕනෑම වේලාවක වාරික මුදල් තැන්පත් කිරීමට හැකි, පැය 24 පුරා ක්‍රියාත්මක වන Easy Pay යන්ත්‍රයක්ද මෙම පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත.

නව ශාඛාව විවෘත කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ් සභාපති රෝහණ දිසානායක මහතා මෙසේ පැවසුවේය. “ප්‍රාදේශීය වශයෙන් අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසුව තව දුරටත් ඉහළ නංවමින් වඩාත් ප්‍රතිඵලදායී සහ පාරිභෝගිකයන් මුල්කොට සකසන ලද මූල්‍ය සේවා ලබාදීමට අප තුළ ඇති කැපවීම අම්බලන්ගොඩ ශාඛාව විවෘත කිරීම හරහා තවදුරටත් ශක්තිමත් වනවා. දිනෙන් දින, වෙනස් වන විවිධාකාර පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන සහ සුදුසුම නව්‍ය මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම අපි දිගින් දිගටම සිදු කරනවා. හැම විටම අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම ව්‍යවසායකයන්ට මූල්‍ය සේවා ලබා ගැනීමේ පිවිසුම නිර්මාණය කිරීමටයි. අප ගනුදෙනුකරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට පමණක් නොව ග්‍රාමීය ක්ෂේත්‍රය ඇතුළත්ව රට තුළ ආර්ථිකය නගා සිටුවීම අපගේ ඉලක්කය වනවා.”

ඇසට්ලයින් ලීසිං සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී අෂාන් නිස්සංක මහතා පැවසුවේ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද නොසැලී අපගේ ව්‍යාපාරික ඉලක්ක සම්පූර්ණ කරමින් ඉදිරියට ගමන් කරන අතර අම්බලන්ගොඩ නවතම ශාඛාව විවෘත කිරීම එහි තවත් එක් පියවරක් බවයි.

“අපගේ අත්දැකීම්, ප්‍රවීණත්වය සහ වෘත්තීයමය නිපුණතාවයෙන් යුතු කණ්ඩායම හේතුකොටගෙන විශේෂයෙන් ග්‍රාමීය බිම් මට්ටමේ පාරිභෝගිකයන්ගේ සිට සියලු ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඊට සරිලන පරිදි විසදුම් ලබාදීමට හැකිවී තිබෙනවා. එය අපේ සාර්ථකත්වයේ ප්‍රධාන අන්තර්ගතය,” යැයි නිස්සංක මහතා පැවසුවේය.

විශාලතම විශේෂිත ලීසිං සමාගමක් ලෙස ඇසට්ලයින් ශ්‍රී ලාංකීය ලීසිං වෙළෙද පොළේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට මේ වන විට සමත් වී ඇත. දිවයිනේ සියලුම ප්‍රධාන ප්‍රදේශ ආවරණය වන පරිදි විවිධාකර ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට සරිලන ලෙස නවමු විසඳුම් රැසක් ඇසට්ලයින් විසින් සපයනු ලබයි. නම්‍යශීලී, පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට සරිලන ලීසිං විසදුම් ලබා දෙමින් ලීසිං ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සලකුණ බවට පත්වීම ඇසට්ලයින් ව්‍යාපාරික සංයුතියේ ප්‍රධාන කරුණ වී ඇත.

ඩේවිඩ් පීරිස් සමූහයේ අනෙකුත් සමාගම්වලින් ලබාදෙන සේවාද අම්බලන්ගොඩ ඇසට්ලයින් ශාඛාව පිහිටි පරිශ්‍රයෙන්ම පාරිභෝගිකයින්ට ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව රියසක්වල හරහා ඕනෑම ලියාපදිංචි වාහනයක් විකිණීමට, මිලදී ගැනීමට හෝ හුවමාරු කිරීමට, DPMC ජෙනුයින් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථානයෙන් බජාජ් ජෙනුයින් අමතර කොටස් හා උපංග, MRF ටයර් සහ බජාජ් ජෙනුයින් ඔයිල්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් වෙතින් රක්ෂණ පහසුකම් මෙන්ම ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් වෙතින් කාබනික සහ ස්වාභාවික කෘෂි නිෂ්පාදන ලබා ගැනීමටද අම්බලන්ගොඩ ඇසට්ලයින් පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගිකයින්ට ඇත.