ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් මයිලෝ හඳුන්වා දෙයි

නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන අතුරින් වඩාත් තිරසාර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය බවට පත්වෙමිනි.

මේ සමඟ වසරකදී ප්ලාස්ටික් බීම බට මිලියන 90ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට හැකි වී තිබෙන අතර, මයිලෝ පාන ඇසුරුම 100%ක්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි තත්ත්වයට ද පත්කොට තිබේ. තම නිෂ්පාදන ඇසුරුම් හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට නෙස්ලේ සමාගම අනුගමනය කරන විවිධ පියවර රාශියක් අතුරින් තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලි සහ ඇසුරුම්කරණ විසඳුම් පිරිනමන සමාගමක් වන Tetra Pak සහ නෙස්ලේ සමාගම එක්ව මෙවැනි සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඒකකයක් ද පිහිටුවා තිබේ. මෙම ප්‍රතිචක්‍රීයකරණ ඒකකය හරහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර, ශ්‍රී ලංකාවේ සමස්ත සැකසූ පාන කර්මාන්තයටම එමගින් ප්‍රතිලාභ අත්කරගත හැක. මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ තෝරාගත් පළාත් පාලන ආයතන හා එක්ව වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාසල් මට්ටමින් සිදුකිරීමට නෙස්ලේ සමාගම පියවර ගෙන ඇත.

එම වැඩසටහන යටතේම ප්‍රතිචක්‍රීයකරණය සඳහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ලබාගැනීමට අපේක්ෂිත ය. 2021 වසර අවසානය වනවිට මෙම වැඩසටහන දිවයින පුරා පාසල් 250ක් අතරට ගෙනයාම නෙස්ලේ සමාගමේ ඉලක්කය වේ. ප්ලාස්ටික් ඇසුරුම් අපද්‍රව්‍ය සඳහා තවදුරටත් එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිචක්‍රීයකරණය ව්‍යාපෘති හඳුන්වාදීම ද සමාගමේ තවත් බලාපොරොත්තුවකි.

වමේ සිට දකුණට – පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු

“ඵලදායී කසළ කළමනාකරණය යනු ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්නයක්. එවන් පසුබිමක, පළමු වරට සැකසූ පාන වර්ග කාණ්ඩය යටතේ කඩදාසි බීම බට හඳුන්වා දීමටත්, ශ්‍රී ලාංකිකයන්ට වඩාත් තිරසාර නිෂ්පාදන හඳුන්වාදීමටත් නෙස්ලේ සමාගම ගනු ලබන උත්සාහය පිළිබඳ මම බෙහෙවින් සතුටට පත්වෙනවා. අපේ රටේත් ජනතාවගේත් යහපත උදෙසා, වඩාත් පිවිතුරු සහ හරිතවත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමෙහිලා රජය සතු දැක්මට තවත් සමාගම්වලින් මෙවැනි සහායක් හිමිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”, යනුවෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

“ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා විසඳුමක් සැපයීමේ සහ තිරසාර මෙහෙයුම් වර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට නෙස්ලේ සමාගම කැපවී ක්‍රියා කරනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුළ අපි සැලසුම් කර ඇති දැවැන්ත තිරසාර වැඩසටහන් අතුරින් පළමුවැන්න ලෙස මෙය හැඳින්වීමට මා කැමතියි. වර්ෂ 2022 වන විට අප භාවිත කරනු ලබන ප්ලාස්ටික් පූර්ණ වශයෙන් වගකීම් සහගත ලෙස බැහැර කිරීමත්, 2025 වසර වනවිට අපගේ සියලු‍ම නිෂ්පාදන 100%ක්ම ප්‍රතිචක්‍රීයකරණ තත්ත්වයට ළඟා කරගැනීමත් අපේ සැලසුමයි. ශ්‍රී ලංකාවේ අනාගතයට සුබවාදී බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ අපි මහත් සේ සතුටට පත්වන අතරේ, අපගේ පාරිභෝගිකයින්ට වගේම පරිසරයටත් යහපත ගෙන දෙන නිෂ්පාදන පිරිනැමීමට අපි කැපවී කටයුතු කරනවා“ යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.

මෙම ඇසුරුම්කරණ වෙනසට දිරියක් වීම සඳහා වගකීම් සහගතව කසළ බැහැර කිරීම පිළිබඳ මෙරට ජනතාවගේ ආකල්ප දියුණු කිරීම අරමුණු කරගනිමින් පුළුල් මට්ටමින් පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට ද නෙස්ලේ සමාගම බලාපොරොත්තු වේ.

“වසර 40ක් පුරාවට ශ්‍රී ලාංකිකයින්ගේ අරමුණු ජයගැනීමට මයිලෝ ලබා දී ඇති දායකත්වය අති විශාලයි. දේශීය ගොවීන්ගෙන් නැවුම් එළකිරි මිලදී ගැනීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ පටන්, මෙරට දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට සහාය දැක්වීම දක්වා දැවැන්ත වූ කාර්යභාරයක් ඉටුකිරීමට අප සමාගමට හැකිව තිබෙනවා. තිරසාරභාවය උදෙසා ගත් මෙම නිර්භීත තීරණයත් එවැනි සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීම නිවැරදියි. ඉදිරියටත් පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමට අපි බැඳී සිටිනවා“ යැයි නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ කාණ්ඩ අලෙවි කළමනාකරු මොහොමඩ් අලි මහතා විස්තර කළේය.

නෙස්ලේ සමාගමේ සෙසු සැකසූ පාන වර්ග වන නෙස්ප්‍රේ සහ නෙස්කැෆෙ යන නිෂ්පාදන ද මෙම කඩදාසි බීම බට භාවිතයට ගනිමින් මේ වසර තුළදීම 100%ක් ප්‍රතිචක්‍රීයකරණ මට්ටම ළඟා කරගැනීමට නියමිත ය.