සම්පත් බැංකුව “වැවට ජීවයක්” වැඩසටහනෙහි අභිමානවත් දස වන පියවර තබමින් ඇතාවැටුණු වැවට ජීවය දෙයි

ඇතාවැටුණු වැව පැරකුම් ගොවි සංවිධානයේ නිලධාරීන් විසින් සුබ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අයුරු

මෙරට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා කැප වූ සම්පත් බැංකුවේ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන වන වැවට ජීවයක්” වැඩසටහන පසුගියදා සිය අභිමානවත් දසවන පියවර සනිටුහන් කරනු ලැබුවේ ආණමඩුව, දිවුල්වැව – ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කරමිනි.  වාරි සංස්කෘතියක් තුළින් ශක්තිමත් වූ මෙරට කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ සම්පත් බැංකුවේ වැවට ජීවයක්” වැඩසටහන තුළින් අභාවයට යමින් පවතින මෙරට වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරනු ලබයි. ඒ තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ට වඩා සරුසාර අනාගතයක් උදා කරදීම සම්පත් බැංකුවේ අරමුණයි.    

එය නැවත නැවතත් යථාර්තයක් බවට පත් කරමින් එම වැඩසටහන යටතේ ජීවය ලබන 10 වන වැව ලෙස ආණමඩුව, දිවුල්වැව ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු ආරම්භ කරනු ලැබුවේ පවතින කොවිඩ් 19 අභියෝගයන් හමුවේ නොසැලී ඉදිරියට යමින් ජීවිත ජය ගැනීම සඳහා ගොවි ජනතාව සවිබල ගන්වමිනි.

කුඹුරු අක්කර 60කට වැඩි ප්‍රදේශයක වී වගාවට අවැසි  ජලය සපයන ඇතාවැටුණු වැව අක්කර 20ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී ඇත්තේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සුවහසක් බලාපොරොත්තුද සමඟිනි. වී ගොවිතැනෙහි සශ්‍රීකත්වය වෙනුවෙන් පමණක් නොව  සත්ව පාලනය සඳහාද ප්‍රමුඛ  ජල සැපයුම් මාර්ගයක් වන ඇතාවැටුණු වැව එම ප්‍රදේශයේ පමණක් නොව අවට ප්‍රදේශයන්හි ජනතාවගේ විවිධ ජීවනෝපායන් නගා සිටුවීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන්නකි. ඒ සියලු දේ තුළින් 500කට අධික පිරිසක් වෙත සවියක් වන්නට ඇතාවැටුණු වැවට හැකිව ඇත්තේ පාරිසරික සුන්දරත්වයේ මෙන්ම ගස් වැල්වල ද, සතා සීපාවාගේ ද අසීමිත සම්පතක් බවට පත්වෙමිනි.

එවන් වටිනාකමක් සහිත ඇතාවැටුණු වැව වසර 20කට වැඩි කාලයක් තිස්සේ කිසිඳු විශේෂ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන්  කෙමෙන් අභාවයට යමින් පවතින්නේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වයට ද අභියෝග කරමිනි. නඩත්තුවක් නොවූ නිසාම වැවෙහි ජලකඳ දරා සිටින වැව් බැම්ම දැඩි අවදානමකට ලක්ව ඇති අතර වැවෙහි රොන් මඩ ඉවත් නොකිරීම හේතුවෙන් වැවෙහි ගැඹුරද බොහෝ සෙයින් අඩු වී ඇත්තේ අඩු ජල ප්‍රමාණයක් වැව තුළ ගබඩා කරමිනි. එසේම එහි ජලය කූඹුරු වෙත බෙදා හරින ඇල මාර්ගය ද, සොරොව්ව මෙන්ම වාන් දොරටුව ද මේ වන විට පවතින්නේ ප්‍රතිසංස්කරණය කිරීමේ අත්‍යවශ්‍ය තත්වයක් තුළය. මේ හේතුව නිසාම තමන්ගේ බලාපොරොත්තු තව දුරටත් සිහිනයන් පමණක්  බවට පත් කර ගනිමින් වසරකට එක් කන්නයක කුඹුරු ගොවිතැනෙන් ජීවිතය සරිකරගන්නට ප්‍රදේශයේ ගොවි ජනතාවට සිදුව ඇත.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැවක ඇති වටිනාකම මනාව අවබෝධ කරගෙන සිටින සම්පත් බැංකුව සියවැවට ජීවයක්” සමාජ සත්කාරක වැඩසටහන තුළින් ඇතාවැටුණු වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය  කිරීමට පියවර ගනු ලැබුවේ පැරකුම් ගොවි සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමිනි. පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයේ තාක්ෂණික සහය සහ දිවුල්වැව ගම්වාසීන්ගේ දායකත්වය ද ඒ සඳහා ලබා ගැනීමට සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය. තම ජීවිතය බඳු කෙත්වතු සරු කරන වැව් දියට හරසර දක්වමින් ප්‍රදේශයේ ජනතාව විසින් සිදු කළ දේව ආශිර්වාද පූජාවන් සමඟ සුබ මොහොතින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මුල් තැනෙහි තබා ගනිමින් වීම ද විශේෂත්වයකි.



ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ  ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජී. කේ. එස්. පුෂ්පකුමාර මහතා සහ සම්පත් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර රවීන්ද්‍ර ගුණවර්ධන මහතා ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අයුරු

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා පාරිසරික සුරක්ෂිතභාවය පදනම් කරගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම හා වෙනත් විවිධ ජීවනෝපායන් ඉටු කර ගැනීම වෙනුවෙන් අතීත රජවරුන් විසින් ඉදිකරනු ලැබූ වැව් පද්ධතියෙහි වටිනාකම සම්පත් බැංකුව ලෙස අපි ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ශ්‍රී ලාංකේය සංස්කෘතික මූලයන් ඉතා ඉහළින් අගය කරන බැංකුවක් ලෙස මෙවන් වටිනා සම්පත් ආරක්ෂා කරමින් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම සඳහා අප කැපවී කටයුතු කරනවා. වැව් ප්‍රතිසංස්කරණය කරමින් ඒවා යළි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීම සඳහා වැවට ජීවයක්” සමාජ සත්කාරක වැඩසටහන අපි ආරම්භ කළා. මේ වන විට එම වැඩසටහන තුළින් දිවයින පුරා ග්‍රාමීය පවුල් දහස් ගණනකගේ ජීවිත අර්ථවත් කිරීමට අපට හැකිව ඇති බව සතුටින් සඳහන් කළ හැකියි.යනුවෙන් පවසා සිටින ලදී. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා වැවට ජීවයක් වැඩසහනේ 10 වැනි පියවර ලෙස ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය සඳහා දිවුල්වැව ගොවි ජනතාව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දායකත්වය ලැබීම අප ලද භාග්‍යයක් කොට සැළකීමට කැමතියි. ඉදිරියේදීත් ජනතාවගේ ජීවිත නගා සිටුවීම සඳහා වන මෙවන් සමාජ සත්කාරක වැඩසටහන් තුළින් ඔවුන්ගේ අනාගතයට ශක්තියක් වීමට සම්පත් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනවායනුවෙන්ද පැවසීය.

ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය සඳහා සම්පත් බැංකුවේ දායකත්වය පිළිබඳ ස්තුතිය පුද කළ පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ආර්.පී.ඩී.කේ. ජයරත්න මහතා සඳහන් කර සිටියේ  ගොවිතැන මූලික කරගත් ජීවනෝපායක නියැලෙන අප ප්‍රදේශයේ ජනතාවටත්, කිරි ගොවීන්ටත්, තවත් විවිධ ජීවනෝපායන් සඳහාත් අපරිමිත දායකත්වයක් දක්වන ඇතාවැටුණු වැව අපේ ජීවිතයේම කොටසක් බව පෙන්වා දිය හැකියි. වසර ගණනාවක් තිස්සේ වැවෙහි කිසිඳු ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම නිසා එය දිනෙන් දින අභාවයට යමින් අපගේ ජීවිතවලටද විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. වසරකට එක් කන්නයක් පමණක් ගොවිතැන් කිරීමට සිදුව ඇති නිසා ආර්ථිකමය වශයෙන් පීඩාවන්ට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. එවන් තත්වයක් තුළ සම්පත් බැංකුව විසින් ඇතාවැටුණු වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණයත් සමඟ අපි නැවත කන්න දෙකම වගා කිරීමටත් අනෙකුත් රැකියා අවස්ථාවන් සඳහා ජලය නොඅඩුව ලබා ගැනීමටත් හැකි වීම නිසා අපිටත් ගමටත් දියුණු අනාගතයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ සඳහා ඉතාමත් කැපවීමෙන්, උනන්දුවෙන් කටයුතු කරන සම්පත් බැංකුවට මේ මොහොතේ අප සියලු දෙනාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි.යනුවෙනි.

මෙම වැවට ජීවයක්” සමාජ සත්කාරක වැඩසටහන සමඟ ගොවිතැන තුළින් ගොවීන්ට තිරසාර ජීවන රටාවක් උරුම කර දීම, කාබනික ගොවිතැන ප්‍රවර්ධනය  මෙන්ම කෘෂිකාර්මික ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහාද සම්පත් බැංකුව කටයුතු කරනු ලබයි. ඒ තුළින් ඔවුන් ජාතික සංවර්ධනය සහ ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් දායක කර ගැනීම සම්පත් බැංකුවේ අපේක්ෂාවයි. විශේෂයෙන් ජනතාව, ලෝකය හා ලාභය යන ප්‍රධාන සාධකයන් පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන මෙරට ජාතික ප්‍රයත්නයට සහයෝගය දැක්වීම සඳහා සුවිසල් කාර්යභාරයක් මෙම වැඩසටහන තුළින් ඉටු කරනු ඇත.

2001 වසරේදී අභාවයට යමින් තිබෙන වැව් රැසක් ප්‍රතිසංස්කරණය සඳහා වන වැවට ජීවයක්” සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කළ සම්පත් බැංකුව මේ වන විට වැව් 9ක් වෙත ජීවය ලබා දී ඇත්තේ සුවහසක් ගොවි ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ඍජුවම සිය දායකත්වය ලබා දෙමිනි. ඒ යටතේ  ලුණුගම්වෙහෙර උඩමත්තල වැව (2001), තණමල්විල ඉලුක්පැලැස්ස වැව (2002), හම්බන්තොට කොන්කැටිආර වැව (2002), පඬුවස්නුවර දෙමටව වැව (2014), නොච්චියාගම හල්මිල්ලකුලම වැව (2017), කහටගස්දිගිලිය අඹගහවැව (2018) දිවුලන්කඩවල ධාන්‍යාව වැව (2018) සහ බිබිල කින්දගල්ල වැව (2020) ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පැවරීමට සම්පත් බැංකුව කටයුතු කොට ඇත.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100]ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදවන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.