TEDxColombo “R-Evolution” සාර්ථක ලෙස නිමාව දකිියි

COVID-19 හේතුවෙන් වසර 4 ක කාලයක් පැවැත්වීමට නොහැකි වූ TEDxColombo වැඩසටහන 2023 අගෝස්තු 27 වන දින ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හිදී සාර්ථක ලෙස පැවැත්විණි. “R-Evolution” යන තේමාව යටතේ පැවති මෙවර වැඩසටහනේදී කථකයෝ 6 දෙනෙක් අදහස් දැක්වූහ. මෙම වැඩසටහනට TEDx Development, TED Conferences ගෝලීය නියෝජිත විල් ඩේවිස් ඇතුළුව දකුණු ආසියානු කලාපයේ TEDx සංවිධායකවරුද සහභාගී වූහ.


TEDxColombo 2023 යනු විප්ලවකාරී වෙනස්කම් ඔස්සේ තිරසාර ප්‍රගතියක් ඇතිකිරීම සඳහා අදහස් හුවමාරු කරගැනීමට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට, චින්තකයන්ට සහ නවෝත්පාදකයන්ට ලැබුණු අගනා අවස්ථාවක් විය. සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර, සාධනීය ප්‍රතිඵල උදෙසා සම්මතයන්ට අභියෝග කිරීම දිරිගන්වන ලදි. දේශනවලට අමතරව එකිනෙකා සමග සුහද සම්බන්ධතා ගොඩනංවාගනිමින් අදහස් හා දැනුම හුවමාරු කරගැනීමටද වැඩසටහනට සහභාගී වූවන්ට අවස්ථාව ලැබිණි.


“වසර හතරක විරාමයකින් පසුව මෙවැනි දැවැන්ත වැඩසටහනක් සංවිධානය කිරීම සුවිශේෂී අත්දැකීමක් වුණා. මෙහිදී ක්ෂේත්‍ර රැසකට මෙන්ම විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ නිර්මාණශීලී සහ පුරෝගාමී අදහස්වලට ඉඩක් ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්.” TEDxColombo බලපත්‍රලාභිනී සෆ්රා අන්වර් පැවසුවා ය.


ක්ෂේත්‍ර රැසකට අයත් කැපීපෙනෙන පුද්ගලයෝ රැසක් TEDxColombo 2023 හිදී දේශන පැවැත්වූහ. සම්මානලාභී රචකයෙකු වන අශෝක් ෆෙරී මහතා, දකුණු ලන්ඩනයේ දේපළ සංවර්ධන සමාගමක සිට ජනප්‍රිය රචකයෙකු වීම දක්වා පැමිණි ගමන් මග විස්තර කළේ ය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනියක වන නීතිවේදිනී භාවනී ෆොන්සේකා, ශ්‍රී ලංකාවේ නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් පළකළා ය. දන්ත ශල්‍ය වෛද්‍යවරියක, නීතීඥවරියක සහ සෞඛ්‍ය පරිපාලකවරියක ලෙස බහුවිධ වෘත්තීමය කාර්යභාරයන් ඉටුකරන ලක්මාලි ජයවීර මහත්මිය, විවිධත්වයෙන් සපිරි සිය වෘත්තීය ජීවිතය පිළිබඳ අදහස් දැක්වූවා ය. එමෙන්ම පර්යේෂණාත්මක සංගීත කණ්ඩායමක් වන Orange Mango මෙහිදී අසන්නන් පිනවීමට එක් විය.


ස්වාභාවික පරිසරය සමග ඒකාබද්ධ වන පර්යේෂණාත්මක ගෘහ නිර්මාණ ප්‍රවේශයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ගෘහ නිර්මාණ ශිල්පී පාලින්ද කන්නන්ගර මහතාද TEDxColombo 2023 හිදී ප්‍රේක්ෂකයන් හමුවේ සිය සුවිශේෂී ප්‍රවේශය විස්තර කළේ ය. ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වන ලද්දේ, පතල් කර්මාන්තය තුළ දශක දෙකකට අධික පළපුරුද්දක් හිමි රයන් රොක්වුඩ් විසිනි. සමාජ ක්‍රියාකාරිකයෙකු, ස්වාධීන පර්යේෂකයෙකු සහ වාර්තා ඡායාරූප ශිල්පියෙකු වන එස්. කිෂෝ කුමාර් මහතා, ආන්තික ප්‍රජාවන් නගාසිටුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වී ය. ප්‍රකට නර්තන ශිල්පිනියක වන සඳරංගි පෙරේරා, සාම්ප්‍රදායික උඩරට නර්තන කලාවේ සිට වාණිජ HipHop නර්තන කලාව වෙත යොමුවීම පිළිබඳව අදහස් දැක්වූවා ය.


TEDxColombo 2023 සාර්ථක ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණේ SyscoLabs, Amrak Institute, JKIT, Aberdeen Holdings, Richardson Outdoor, SUN FM & Gold FM, Temple Grounds & Kiku, HardTalk, TITANITE, Super Flat Studio, E-Maan Digital, Likuid Spaces, Tai Hsin Shiek Photography, Newswire, සහ Pulse යන අනුග්‍රාහකයන්ගේ සාදර දායකත්වය හේතුවෙනි.
TEDxColombo 2023 හිදී පවත්වන ලද දේශන සියල්ල මේ වනවිට TEDx YouTube නාලිකාවට ඇතුළත් කර තිබේ. එමෙන්ම TEDx දේශන, වැඩසටහන් සහ වැඩිදුර තොරතුරු www.tedxcolombo.org හි දක්වා ඇත.