Aberdeen Holdings වෙතින් “Inspiring the Leaders of Tomorrow” නමින්සු විශේෂී ශිෂ්‍ය මාර්ගෝපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නිසි වෘත්තීය මාර්ගෝපදේශනයක් නොමැති වීම බරපතළ ගැටලුවක්ව පවතී. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, Aberdeen Holdings (පුද්.) සමාගම “Inspiring the Leaders of Tomorrow” නමින් සුවිශේෂී වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. 2023 ජූලි 29 දින Ex-Pack Corrugated Cartons PLC හිදී නිල වශයෙන් ආරම්භ ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා Aberdeen Holdings දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.


අනාගතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙමින්, එම අභියෝග ජයගැනීමට වැදගත් වන කුසලතා දියුණු කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙරට තරුණ පරපුර වෙත ලබාදීම “Inspiring the Leaders of Tomorrow” වැඩසටහනේ අරමුණයි. මෙවැනි වැඩසටහන්, රටේ බුද්ධිමතුන් රට තුළම රඳවා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. නිසි වෘත්තීය පුහුණුවක් හා මගපෙන්වීමක් හිමි වන්නේ නම්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතයේදී ඵලදායී වෘත්තීය පුහුණුවක් ලැබීම සඳහා හෝ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීම සඳහා විදේශගත වීම අත්‍යවශ්‍ය නොවේ. මේ ඔස්සේ අනාගත නායකයන් නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාව අපේක්ෂිත සංවර්ධන කරා රැගෙන යාමට මෙම වැඩසටහන සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ඇත.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ සුප්‍රකට දේශකයෙකු මෙන්ම Tolmark හි ප්‍රධාන පුහුණුකරු සහ GlinMax හි අධ්‍යක්ෂවරයෙකු වන සම්රීන් සරූක් මහතා විසිනි. එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතය සඳහා අතිශයින් වැදගත් වන උපදෙස් මාලාවක් ලබාදීමට මෙන්ම, තම ඉලක්ක හඹා යාම සඳහා ඔවුන් දිරිගැන්වීමටද ඒ මහතා කටයුතු කළේ ය.


රටේ අනාගතය භාරගැනීමට සූදානමින් සිටින තරුණ පරපුර තුළ නිතැතින්ම පවතින අසීමිත හැකියාවන් පිළිබඳ විශ්වාසය මෙම වැඩසටහනට පදනම් වී තිබේ. සමාජයේ කුමන තරාතිරමකට අයත් වුවද, අනාගතය ජයගැනීමට ඔවුන්ට අවශ්‍ය දැනුම, පළපුරුද්ද හා මෙවලම් ඔවුන් වෙත පිරිනැමීම Aberdeen Holdings හි අපේක්ෂාව වී ඇත. ඒ ඔස්සේ ඉදිරියේදී වැඩමුළු, සම්මන්ත්‍රණ සහ උපදේශන වැඩසටහන් පමණක් නොව, ඩිජිටල් සම්පත් ප්‍රවර්ධන වැඩසටහන් සහ මූල්‍ය සහය යාන්ත්‍රණයන්ද හඳුන්වා දීමට Aberdeen Holdings සැලසුම් කර තිබේ.


මෙම වැඩසටහන තුළදී මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන්වලදීද විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන වෘත්තිකයන් හා සංවිධාන සමග අත්වැල් බැඳගැනීමට Aberdeen Holdings බලාපොරොත්තු වෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත දියුණුවට වැදගත් වන ප්‍රායෝගික උපදෙස් සහ මගපෙන්වීම් සමගින් පුළුල් මට්ටමේ අත්වැලක් ඔවුන් වෙත ලබාදීම මෙම වැඩසටහන්වල පරමාර්ථය වී තිබේ. මේ ඔස්සේ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කරගනිමින්, ආත්ම විශ්වාසයෙන් යුතුව තම අනාගත වෘත්තීය ගමන් මගේ ඉදිරියටම යාමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැකියාව ලැබෙනු ඇත.