ලංකා ඊ ඩොක් ( Lanka E Doc ) හා ඉන්දියාවේ ඇපලෝ රෝහල අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනිමින් ඉදිරියේදී ඩිජිටල්කරණය වූ පාසල් 3000 ක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා ලංකා ඊ ඩොක් ( Lanka E Doc ) ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකා ඊ ඩොක් හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ තුළින් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව සමඟ පහසුවෙන් එක්වීමට ශ්‍රී ලංකාවට හැකි වෙනවා.


ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ඉන්දියාව ඇතුළු රටවල වෛද්‍යවරුන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුලින් ඇතිවෙනවා. එමෙන්ම වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය ගොඩනැගීම සායනිකව උපදෙස් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් ලබාදීම, මේ සියල්ල පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ද උදාවෙනවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා කරන ඇපලෝ රෝහලේ තාක්ෂණික සහායද හිමිවීම විශේෂත්වයක්.


ලංකා ඊ ඩොක් ව්‍යාපෘතියට අදාළව ගිවිසුම්ගත වීමට අමතරව ව්‍යාපෘති නිල ලාංඡනය එළිදැකීමද මෙහිදී සිදු විය. එය සිදුකෙරුණේ සෙරන්ඩිබ් සමූහයේ සභාපතිනි ආචාර්ය නිලූකා වැලිකළ, ඇපලෝ රෝහල් සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයකු වන ජිතු ජෝස් යන මහත්ම මහත්මීන් ගේ ප්‍රධානත්වයෙනි.


මෙම අවස්ථාවට අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ, වෛද්‍ය රේවතී රාජ් මහත්මිය මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වුහ. මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය සම්පත් මධ්‍යස්ථාන 100ක් රට පුරා ඇති කරනවා. එසේම වෛද්‍යවරුන් සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට online ඉගෙනුම් මධ්‍යස්ථාන ක්‍රමය ගොඩනැගෙනවා.


මේ සියල්ල සඳහාම ඉන්දියාවේ තාක්ෂණ සහය භාවිතා කරනවා. මේ අයුරින් ක්‍රියා කිරීමෙන් නිදහස් අධ්‍යාපනය මෙතෙක් ලබා නොගත් ප්‍රයෝජනද ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ව්‍යාපෘතියට එක්ව සිටින ඇපලෝ රෝහල ආසියාවේ විශාලත ම හා වඩාත් විශ්වසනීයම සෞඛ්‍ය මධ්‍යස්ථානයයි . 1983 දී ආරම්භ කළ මෙම රෝහල මේ වන විට රටවල් 25 ක ටෙලි මෙඩිසින් ඒකක 100ක් ක්‍රියාත්මක කරනව. රෝහල් ශාඛා රැසකින් සමන්විත ඇපලෝ රෝහල් ජාලය තුළ ඇඳන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් පවතිනවා එමෙන්ම ප්‍රාථමික සත්කාර ඒකක රෝග විනිශ්චය මධ්‍යස්ථානය 100 ක් ක්‍රියාත්මක වෙනවා. එසේම ෆාමසි 5000 කට වැඩි සංඛ්‍යාවක්ද පවතී. මෙවැනි ආයතනයක සේවාව ශ්‍රී ලංකාට ලබා ගැනීම මෙරට සෞඛ්‍ය සේවාවට ද අතිශය වැදගත් වෙනවා.