ආදායම් කොමසාරිස් ජනරාල්ට ජනපතිගෙන් උපදෙස්

වැට්බද්ද අඩුකිරීමේ සහනය පොදු ජනතාවට නොලැබීම පිළිබඳව සොයාබලා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
 
ආණ්ඩුව වැට්බද්ද 15% සිට 8% දක්වා අඩු කළද ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් බඩු මිල අඩුකර නැති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවද ජනාධිපතිවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
 
ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ බවද, ඒ අනුව ජනතාවට වැට් සහනය ලබානොදෙන ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගත් බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා ආදායම් දෙපාර්තමේන්තුවේ අද(17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
පිඟන් භාණ්ඩ, සංචාරක හෝටල්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ රෙදිපිළි ආදී ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් ජනතාවට වැට් සහනය නොදී වසන් කරන බවද එහිදී කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය .
 
එවැනි ආයතන හා ව්‍යාපාරිකයන් සොයාබැලීමට පරීක්ෂණ කණ්ඩායම් යොදවන බවද ජනතාවට වැට් සහනය ලබානොදෙන්නන්ට එරෙහිව නීති මගින් පියවර ගන්නා බවද නඳුන් ගුරුගේ මහතා පැවසීය.