නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පනවයි

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක තොරතුරු ලබා ගැනීමට ද අධිකරණය විසින් නියෝග කර තිබේ .

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න ගේ බිරිඳට අයත් විදෙස් බැංකු ගිණුමකින් ඩොලර් ලක්ෂ 8 ක මුදලක්, නිමල් පෙරේරා ට අයත් SABRE VISION LTD නම් බැංකු ගිණුමකට හුවමාරු වී තිබීම අනාවරණය වීම හේතුවෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එම කරුණුවලට අනුව 2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 14 ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ නමින් බෘෘනායි හි සංස්ථාපනය කර තිබූ BIZ SOLUTION නම් සමාගමට අයත් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට 2013 දෙසැම්බර් 27 දින ඩොලර් මිලියන 2 ක මුදලක් ගිණුම්ගත වී තිබේ. මෙම මුදල් අදාළ ගිණුමට ලැබී ඇත්තේ ප්‍රංශයේ එයාර්බස් සමාගමේ මව් සමාගම වන EADS වෙතිනි.

මේ අතර 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 දිනවල අවස්ථා දෙකක දී BIZ SOLUTION බැංකු ගිණුමෙන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කර ඇති SABER VISION LTD නම් බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හුවමාරු වී ඇත. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට අනාවරණය කරමින් කියා සිටියේ මෙම SABER VISION LTD ගිණුමේ වන්නකවත්තවඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරාට අයත් බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක ලබන මාර්තු 04 දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ .