සම්පත් බැංකුව සම්බන්ධව මහ බැංකුවට පැමිණිල්ලක්, යසිරුගෙන් පොලීසියට කටඋත්තරයක්

දිවයින පුරා පවතින සම්පත් බැංකු ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව හෙළි කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ගෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් කටඋත්තරයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා

ඒ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් අසත්‍ය තොරතුරු පතුරුවන බවට සම්පත් බැංකුව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවය.

කෙසේවුවද, කටඋත්තරය සටහන්කරගත් පොලිස් නිලධාරියාට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් නොවීම හේතුවෙන් යසිරුව අදාළ කටඋත්තරය ලබාදීමේදී දැඩි අපහසුතාවයට ලක්වූ බවද මේ අතර වාර්තා වෙයි.

සම්පත් බැංකුව වෙනුවෙන් නීතීඥයින් විශාල පිරිසක් පොලිසියට පැමිණ සිටි බවද වාර්තා වෙයි.

මේ අතර, අදාළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ඡාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මහබැංකු අධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිදුකර ඇති හෙළිදරව්ව සත්‍යයක් නම් ඉන් විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පීඩාවට පත්වන බැවින් හා ඔවුන්ගේ මුදල් හා දත්ත අනාරක්ෂිත වන බැවින් ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මේ පිළිබදව සම්පත් බැංකුවේ පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට සිය සංවිධානය කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි. අදාල ලිපිය පහත දැක්වෙයි.