වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව බෝට්ටු සේවාව අරඹයි

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ජලමාර්ග ඔස්සේ ප්‍රවාහන පහසුකම් සපයන බෝට්ටු සේවාව අද(11) ආරම්භ කෙරුණි. එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ වැල්ලවත්ත තොටුපල අසලදීය.

බෝට්ටු සේවාවේ නැවතුම් ලෙස වැල්ලවත්ත නාවල විවෘත විශ්වවිද්‍යාලය හා දියත උයන යන ස්ථාන ක්‍රියාත්මකයි. නව සේවාව නිල වශයෙන් ආරම්භ කෙරුණේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙනි.

වාහන තදබදයට විසඳුමක් ලෙසයි, මෙය ක්‍රියාත්මක වේ.

වැල්ලවත්තෙන් උදේ 6.50 සිට 9.00 දක්වා විනාඩි 30කට වරක් බත්තරමුල්ල දියත උයන වෙත මගී බෝට්ටු ධාවනය කරනු ඇත. සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා ද මෙම සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. වැල්ලවත්ත සිට බත්තරමුල්ලට විනාඩි 25කින් ළඟා විය හැකිය. ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 60කි. ආරම්භයේ දී වායු සමනය කළ බෝට්ටු 4ක් යෙදවනු ලැබේ.

මේ වනවිට මෙම සේවය සඳහා බෝට්ටු හතරක් යොදා ඇති බවත්, ඉතා ඉක්මනින් බෝට්ටු ප්‍රමාණය වැඩි කරමින් මගී ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු සිදුකරන බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පැවසීය.

මේ බෝට්ටු රථ ධාවනය කිරීම සඳහා නාවික හමුදාවේ පළපුරුදු විශ්‍රාමික නාවික නිලධාරීන් යොදවාගන්නා බවත්, මගීන්ගේ උපරිම ආරක්‍ෂාව සඳහා කටයුතු සැලකිලිමත්ව ක්‍රියාකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.