නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් COVID-19 වෛරසයට එරෙහි සටනට වෛද්‍ය ඇඳුම් කට්ටල 4500ක්

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වනදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක උප සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අයකර ගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දියත් කෙරෙන ජාතික ක්‍රියාන්විතය සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, වෛද්‍ය අනිල් ජාසිංහ සහ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡා කර මේවන විට සෞඛ්‍ය සේවා සහ සුව සේවා ක්ෂේත්‍රයේ සේවකයන් හට පවතින දැඩි අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය. මෙම සාකච්ඡාවලින් අනතුරුව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තම ජීවිත අවදානම නොතකා කටයුතු කරන COVID-19 වෛරස තත්ත්වයට විශේෂඥ රෝහල්වල ඉදිරිපෙළ සේවයේ නිරත සියලු ම සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා වෛද්‍ය ඇඳුම් කට්ටල ලබා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තීරණය කළේය.

නියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි. මෙම කර්තව්‍යය සාර්ථක කිරීම සඳහා නොමඳ සහයෝගයක් ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර සහයෝගිතාව සඳහා අවශ්‍ය පහසුකම් සැපයුහ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් අමුද්‍රව්‍ය මිලදී ගෙන වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් මසා නිම කිරීම සඳහා දායකත්වය ලබා දෙන බවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ප්‍රතිඥා ලබා දුන්නේය.

“මුළු ලෝකයම වසංගත තත්ත්වයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක, තම පෞද්ගලික සෞඛ්‍යය ගැන පවා නොතකමින් මෙරට පොදු ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වෙහෙසෙන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අවශ්‍ය සහයෝගය ලබා දීම අපගේ යුතුකමක් බව අප අවබෝධ කර ගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අත්වැල් බැඳ ගනිමින් සෞඛ්‍ය අංශයට වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ලබා දීමට ප්‍රතිඥා ලබා දීමට අප තීරණය කළේ එම අරමුණ පෙරදැරිවයි. මෙම අභියෝගාත්මක කාලය තුළ සිය සේවය අඛණ්ඩව ලබා දීමට කැපවන ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අපගේ කණ්ඩායම වෙනුවෙන් අප මේ අවස්ථාවේදී ස්තූතිය පුදකර සිටිනවා. රටට අවශ්‍ය මොහොතේ මෙම ජාතික කර්තව්‍යය සඳහා අපගේ කණ්ඩායමත්, අපගේ පාරිභෝගිකයනුත් මුළුමනින් ම කැපවනවා'” යනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ලබාදීම COVID-19 වෛරසය මැඩපැවැත්වීමට දායක වීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සැලසුම් කර ඇති වැඩසටහන් මාලාවේ පළමු අදියරයි. පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) ආදී ඉදිරි අවශ්‍යතා පිළිබඳව ද බැංකුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින අතර එවැනි අවශ්‍යතා හැකි පමණ සපුරාලීමට ද බැංකුව සූදානම්ව සිටී.