ශ්‍රී ලාංකේය ළමා පරපුර දැනුමෙන් හා පෝෂණයෙන් සවිගැන්වීමට CBL සමපෝෂ නවමු පියවරක් තබයි

මාස දෙකකට වැඩි කාලයක් පුරා නිවසේ කාලය ගතකරන කුඩා දරුදැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු ‍කරගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය හරහා එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ.


ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහිකිරීමට කැපවුණු ‘CBL සමපෝෂ’ සෑමවිටම මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය තම ප්‍රමුඛ වගකීමක් කොට සලකන අතර, මෙම ඩිජිටල් වැඩසටහන එළිදැක්වුණේ කොවිඩ්-19 වසංගතය හමුවේ දරුවන්ගේ දැනුම වර්ධනය හා පෝෂණය පිළිබඳ නිරන්තර අවධානයක් දක්වන දෙමාපියන්ට සහායක් වීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. ඒ අනුව මෙතෙක් කල් පාසලට, පෙර පාසලට ගමන්ගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන, සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා නිවසේදීම කුඩා දරුවන්ගේ අධ්‍යාපනික හා විනෝද ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන්ට මඟපෙන්වනු ඇත.


තව ද දෙමාපියන්ට ළමුන්ගේ වත්මන් මානසික ස්වභාවය වටහාගැන්මට සහාය වෙමින් ජාත්‍යන්තර කීර්තිය දිනූ ළමා මනෝවිද්‍යාඥවරියක ද මෙම ඩිජිටල් වැඩසටහන හා එක්ව සිටින්නීය. දරුවන් නිවසට වී ගෙවන කාලය ඵලදායීව ගතකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඇය එහිදී විද්‍යාත්මක පදනමකින් අදහස් ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම දර්ශීය කාලසටහනක් ඔස්සේ දරුවන් අධ්‍යාපනය, ක්‍රීඩාව, විනෝදය මෙන්ම පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගතකිරීම, ආගමික කටයුතුවල නිරතවීම ආදී විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් එමගින් දෙමාපියන්ට පිරිනැමේ.


වර්තමානයේදී වරින් වර පනවනු ලබන ඇඳිරි නීති තත්ත්වය යටතේ බොහෝ නිවාසවලට ලබාගන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණි. එවන් පසුබිමක දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දෙමාපියන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පෝෂණවේදියෙකුගේ අදහස් අතිශය වැදගත් වනු නොඅනුමානය. එම අවශ්‍යතාව නිවැරදිව හඳුනාගනිමින් ප්‍රකට පෝෂණවේදියෙකු ඉදිරිපත් කරන ඉතාම කාලෝචිත අදහස් රැසක් ද ‘සමපෝෂ දිනන දරුවෝ’ ඩිජිටල් වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කෙරේ.


CBL ආහාර අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියාසිටියේ, දරුවන්ගේ යහපැවැත්ම පිළිබඳ සෑම කෙනෙකුගේම විශේෂ අවධානයක් යොමුවිය යුතු බව ය. “දරුවො කියන්නේ අපේ රටේ අනාගතය. ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් අ‍පේ රටට දායාද කිරීමට CBL සමපෝෂ අපි කැපවී සිටිනවා. විශේෂයෙන්ම මේ දිනවල ඇති අභියෝග ජයගැනීමට දරුවන්ට අපේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ කටයුත්ත උපරිමයෙන් ඉටුකිරීමට ‘සමපෝෂ දිනන දරුවෝ’ ඩිජිටල් වැඩසටහන් මාලාව මහඟු පිටුවහලක්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.