ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත් විදුලි බිල් සහනය ලැබෙයි

ගෘහස්ත විදුලි පාරිභොගිකයන් වෙනුවෙන් ලබාදුන් විදුලි බිල් සහනය ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටත්  ලබාදෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා  අගුනකොළපැලැස්ස තම නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ ද පැවැසීය.

“මම දන්නවා සමහර අයට මාර්තු, අප්‍රේල් හා මැයි මාස තුන සඳහා රුපියල් 60000ක් වාගේ බිල්පත් ලැබිලා තිබුණා. සමහර විට ඒ අයගේ පෙබරවාරි මස බිල්පත රුපියල් 5000ක් නම් ඒ අයට ගෙවන්න වෙන්නේ 5000 ඒවා තුනයි.

ඒ කියන්නේ රුපියල් 15000යි. සමහරු දැනටමත් බිල්පත් ගෙවලා තියෙනවා. ඒ අයට කියන්නේ ඔබ විසින් ගෙවා ඇති මුදල අපතේ යන්නේ නැහැ. මේ රටේ සෑම විදුලි පාරිභෝගිකයෙක් වෙනුවෙන්ම ගිනුමක් ලංකා විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යනවා. ඒ වැඩියෙන් තැම්පත් කරපු මුදල එක්කෝ ආපසු ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඉදිරි බිල්පත් සඳහා පියවන්න පුලුවන්.

මම දන්න සමහර පවුල් වැඩිපුර සඳහන් වු බිල්පත් දැනටමත් ගෙවලා තියෙන නිසා මෙම ලබා දුන් සහනයත් සමග ඔවුන්ට තව මාස පහක් හයක් යන තෙක් විදුලි බිල්පත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

අනිත් කාරණය තමයි මාර්තු, අප්‍රියෙල් හා මැයි මාස බිල්පත් ගෙවන්න මාස දෙකක සහන කාලයකුත් අපි දීලා තියෙනවා. ඒ වගේම කිසිදු අවස්ථාවක බිල්පත් නොගෙව්වා කියා විදුලිය විසන්ධි කරන්නෙත් නැහැ. සියලු සහන අපි මහජනතාවට ලබා දීලා තියෙනවා.

අනික විදුලි බල මණ්ඩලයත් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා රජය විසින් රුපියල් මිලියන 48000ක මුදලක් ලංවිම ණය ගෙවන්න වෙන් කළා. ලංවිම ඛනිජතෙල් සංස්ථාවට ඇති ණය  මුදල රුපියල් මිලියන 85000ක්ග  දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ පුරෝකථන ණය ප්‍රමාණය වන රුපියල් මිලියන 90000 රුපියල් මිලියන 63000 දක්වා අවම කර ගැනීමටත් වැඩ පිළිවෙලවල් රජය ආරම්භ කළා.”