කොටස් වෙළඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද සිදුවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම කඩා වැටීම අද (05) දින වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99 කින් පහළ ගිය අතර මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 ක් ඉක්මවූ අගයකින් පහළ ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වෙයි.

මීට පෙර තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම පහළ යාම මෙම වසරේ මාර්තු 20 දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 303.10 ක පහළ යාමක් වාර්තා විය.

මේ අතර අද දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 178.24 ක පහළ යාමක් වාර්තා කළේය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,587.18ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 178.24ක් ලෙසත් සටහන්ව තිබිණ.

දිනය තුළ අවස්ථා දෙකක දී ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පිළිවෙලින් පූර්ව දිනයට සාපේක්ෂව 5%ක් හා 7.5% ක් ඉක්මවා පහළ යාම හේතුවෙන් පෙරවරු 11.07ට සහ පෙරවරු 11.43 ට මිනිත්තු 30 ක් බැගින් මෙලෙස ගනුදෙනු අත්හිටුවන ලදී.

අද දින රු. බිලියන 3.82 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 300 ක් ඉක්මවූ පහළ යාමක් මුල් වරට වාර්තා වූයේ 2010 ඔක්තෝබර් 12 දිනයේ දීය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ යන ලදී.

කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වසංගත තත්ත්වය මුල්වරට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වූ අතර එය සෘජුවම කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන ලදී. මේ හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුකොට ගෙන මාර්තු 20 දින සිට මැයි 11 දින දක්වා සති 7ක කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට කටයුතු යෙදුණු. කෙසේ වෙතත් ඉන් අනතුරුව ක්‍රමයෙන් කොරෝනා අවදානම පහව යාමත්, මහ මැතිවරණයෙන් බහුතර බලයක් සහිත ස්ථාවර රජයක් පත්වීමත් හේතුකොට ගෙන කොළඹ කොටස් වෙළෙඳපොළ වඩාත් ස්ථායී වීමක් දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 12% ක වර්ධනයක් වාර්තා කළ අතර එය එම මාසය තුළ ලොව වැඩිම වර්ධනයක් වාර්තා කළ කොටස් මිල දර්ශකය බවට පත්විය.